ප්‍රසිද්ධ යූටියුබ් තරුවක් සහ රැපර් ගායකයෙක් වන යන්ග් ෆිලී හෙවත් ඇන්ඩ්‍රෙස් ෆෙලිපේ වැලෙන්සියා බැරියන්ටෝස්ට එරෙහිව ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අධිකරණයක් තීන්දුවක් ලබා දී තිබෙනවා. පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ප්‍රසංගයකින් පසුව තරුණියකට ලිංගික අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා. කෙසේ වෙතත්, අධිකරණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් වූ දූෂණ චෝදනා තුනකින්ම ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට ජූරි සභාව පියවර ගත්තා. නමුත් ශරීරයට හානි සිදු කිරීමේ චෝදනා දෙකකට ඔහු වරදකරු වී තිබෙනවා.
නඩු විභාගය අතරතුරදී තරුණිය පවසා තිබුණේ ඔහු තමන්ට පහර දී හිරිහැර කළ බවයි. නමුත් ගායකයා පවසා සිටියේ තමන් සහ එම තරුණිය අතර පැවතියේ එකඟතාවයෙන් සිදු වූ සම්බන්ධතාවයක් බවයි. තවත් දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ජූරි සභාවට තීරණයකට එළඹීමට නොහැකි වූ අතර, එම චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරනු ඇති. තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ඔහු අධිකරණයේදී හැඬූ බවත් වාර්තා වෙනවා. මේ වන විට ඔහු ඇප මත මුදා හැර සිටින අතර, අගෝස්තු 21 වන දින ඔහුගේ දඬුවම ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
බීටා ස්කොඩ් (Beta Squad) කණ්ඩායම හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ යන්ග් ෆිලීට සමාජ මාධ්‍ය තුළ විශාල රසික පිරිසක් සිටිනවා. මෙම සිදුවීම ඔහුගේ රසිකයන් අතර විශාල කතාබහකට ලක්ව තිබෙන අතර, නීතිමය කටයුතු තවමත් අවසන් වී නොමැති නිසා ඉදිරියේදී සිදුවන දේ පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් පසුවනවා.

Discussion & Feedback