බ්රිතාන්යයේ සංස්කෘතික ලේකම් ලීසා නන්ඩි විසින් ඉදිරිපත් කර ඇති නව යෝජනාවක් මේ වන විට ලොව පුරා දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. ඒ අනුව, දැනට BBC නාලිකාව සඳහා පමණක් අය කරන වාර්ෂික පවුම් 180ක බලපත්ර ගාස්තුව, Netflix, Disney+ සහ Prime Video වැනි ස්ට්රීමින් සේවා භාවිතා කරන පිරිසගෙන්ද අය කිරීමට රජය සලකා බලමින් ඉන්නවා. මේ වන විටත් BBC සේවාවන් භාවිතා කරන බහුතරයක් ජනතාව එම ගාස්තුව ගෙවන්නේ නැති නිසා, ආයතනයට විශාල ආදායම් අලාභයක් සිදුවන බවයි ඇය පෙන්වා දෙන්නේ. මෙම නව ක්රමවේදය හරහා BBC සහ ස්ට්රීමින් සේවා යන දෙකම නරඹන පිරිසට සම්පූර්ණ ගාස්තුවත්, ස්ට්රීමින් සේවා පමණක් භාවිතා කරන අයට අඩු ගාස්තුවකුත් අය කිරීමට යෝජනා වී තිබෙනවා.
මෙම තීරණය නිසා සමස්ත බලපත්ර ගාස්තුව අඩු කිරීමට පවා හැකියාව ලැබෙනු ඇතැයි ලීසා නන්ඩි විශ්වාස කරනවා. කෙසේ වෙතත්, ඇමරිකානු ස්ට්රීමින් සමාගම් මෙම යෝජනාවට දැඩි විරෝධයක් පළ කර තිබෙනවා. බ්රිතාන්යයේ නිර්මාණශීලීත්වය සහ BBC ආයතනයේ යටිතල පහසුකම්වලින් මෙම සමාගම් විශාල වාසි ලබන බවත්, එබැවින් ඔවුන්ද රටේ සංස්කෘතික අරමුදලට දායක විය යුතු බවත් ඇය අවධාරණය කරනවා. මේ අතර, BBC ආයතනය තුළ සිදුවන දැවැන්ත සේවක කප්පාදුව සහ වියදම් අඩු කිරීමේ සැලසුම් පිළිබඳවද ඇය සිය අප්රසාදය පළ කර තිබෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මහජනතාව සහ පාර්ලිමේන්තුව සමඟ පුළුල් සාකච්ඡා පවත්වා අවසන් තීරණයකට එළඹීමටයි රජය බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback