ලොව ලාබාලතම රජු ලෙස කිරුළු පැළඳි උගන්ඩාවේ ටූරෝ රාජධානියේ රජු, ඔයෝ නිම්බා කබම්බා ඉගුරු රුකිඩි IV ගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා ඉතා උත්කර්ෂවත් ලෙස සිදු වුණා. වයස අවුරුදු තුනේදී රජකමට පත් වූ ඔහු, පිළිකා රෝගයක් සඳහා ඇමරිකාවේ ප්රතිකාර ලබමින් සිටියදී වයස අවුරුදු 34 දී අභාවප්රාප්ත වුණා. දහස් ගණනක් ජනතාව වීදි දිගේ ඔහුගේ දේහය රැගෙන යන පෙරහැර නැරඹීමට එක්ව සිටි අතර, ෆෝට් පෝටල්හි පිහිටි රාජකීය සොහොන් ගැබේදී පෞද්ගලික උත්සවයක් ලෙස අවසන් කටයුතු සිදු කෙරුණා.
කෙසේ වෙතත්, රජුගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්රාප්තිකයා කවුද යන්න සම්බන්ධයෙන් රාජකීය පවුල තුළ දැඩි මතභේදයක් හටගෙන තිබෙනවා. ගෝත්රික වැඩිහිටියන් විසින් රූපවාහිනී නිවේදකයෙකු වන ප්රින්ස් එඩ්වඩ් රුකිඩි කිජානන්ගෝමා නව රජු ලෙස නම් කළත්, රජුගේ පවුලේ අය එය ප්රතික්ෂේප කරනවා. රජුගේ සොහොයුරිය පවසන්නේ 2022 වසරේ ලියන ලද අන්තිම කැමති පත්රයකට අනුව රජුගේ කුඩා පුත්රයා අනුප්රාප්තිකයා විය යුතු බවයි. මේ අතර, රාජකීය මාලිගාවට හමුදාව යොදවා තමන්ව නිවාස අඩස්සියේ තබා ඇති බවට රජුගේ මව චෝදනා කරනවා.
මේ තත්ත්වය හමුවේ උගන්ඩාවේ ජනාධිපතිවරයා සහ පල්ලියේ ප්රධානීන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ බෙදීම් පසෙකලා එකමුතු වන ලෙසයි. ශෝකය ප්රකාශ කරන මොහොතක පවසන වචන පවා රාජධානියේ අනාගතයට සහ රජුගේ උරුමයට හානි විය හැකි බව ඔවුන් සිහිපත් කරනවා. කෙසේ වෙතත්, ටූරෝ රාජකීය වංශය පවසන්නේ තමන් සියලු සාම්ප්රදායික චාරිත්ර වාරිත්රවලට අනුකූලව නව රජු තෝරාගත් බවයි. මේ ගැටුම කෙසේ විසඳේවිද යන්න තවමත් අවිනිශ්චිතයි.

Discussion & Feedback