මීට වසර පනහකට පෙර උගන්ඩාවේ එන්ටෙබේ ගුවන් තොටුපළේ පැවති ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත් වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ වැඩිමහල් සහෝදරයා වන යොනාතන් නෙතන්යාහු සිහි කිරීම සඳහා උගන්ඩාව විසින් විශේෂ පිළිරුවක් නිරාවරණය කර තිබෙනවා. එදා පැවති එම ඓතිහාසික මෙහෙයුම සිහිපත් කරමින් උගන්ඩාවේ හමුදාපති ජෙනරාල් මුහූසි කයිනරුගාබා සඳහන් කළේ, යොනාතන්ගේ නිර්භීතකම සහ කැපවීම අගය කිරීම සඳහා මෙම ස්මාරකය ඉදි කළ බවයි. අතේ මැෂින් තුවක්කුවක් සහිතව ඉදිරියට ඇදෙන අයුරින් නිර්මාණය කර ඇති මෙම පිළිරුව, එදා මෙහෙයුම සිදු වූ පැරණි ගුවන් තොටුපළ පර්යන්තය අසලම ස්ථාපිත කර තිබෙනවා.
1976 වසරේදී පැලස්තීන විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් පැහැරගෙන ගිය එයාර් ප්‍රාන්ස් ගුවන් යානයක සිටි ප්‍රාණ ඇපකරුවන් 100කට අධික පිරිසක් මුදා ගැනීමට ඊශ්‍රායල හමුදාව මෙම මෙහෙයුම දියත් කළා. එම මෙහෙයුමේදී යොනාතන් නෙතන්යාහු පමණක් ජීවිතක්ෂයට පත් වූ අතර, ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු සහ උගන්ඩාවේ හමුදා භටයන් විශාල පිරිසක් ද මිය ගියා. එදා පැවති ඉඩි අමින්ගේ ඒකාධිපති පාලනය සහ මෙම සිදුවීම උගන්ඩාවේ ඉතිහාසයේ වේදනාකාරී පරිච්ඡේදයක් වුවත්, අද වන විට ඊශ්‍රායලය සහ උගන්ඩාව අතර පවතින සබඳතාවය අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය මත පදනම් වූ ශක්තිමත් හවුල්කාරිත්වයක් බව හමුදාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. සාමය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටි ඔවුන්ගේ මතකයන් අනාගත පරපුරට ආදර්ශයක් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Discussion & Feedback