ලෝක ප්‍රකට Uber සමාගමේ භාණ්ඩ ප්‍රවාහන අංශය වන Uber Freight වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ‘Helix’ නමින් හඳුන්වන හැකර් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙන අතර, ඔවුන් පවසන්නේ Uber Freight සමාගමේ විද්‍යුත් තැපැල් ගිණුම්, ක්ලවුඩ් ගබඩා සහ ගිණුම්කරණයට අදාළ වැදගත් ලේඛන විශාල ප්‍රමාණයක් තමන් සතු කරගෙන ඇති බවයි. කෙසේ වෙතත්, Uber Freight සමාගම පවසන්නේ මේ වන විටත් ඔවුන්ගේ දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
මෙම හැකර් කණ්ඩායම මීට පෙරත් ප්‍රවාහන සහ මූල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් සිදු කරන්නේ සමාගම්වල පද්ධතිවලට ඇතුළු වී දත්ත සොරාගෙන, එම දත්ත ප්‍රසිද්ධ නොකිරීමට නම් කප්පම් මුදලක් ඉල්ලා සිටීමයි. ගූගල් ආයතනයට අනුව, මෙම කණ්ඩායම ‘UNC6671’ නමින් හැඳින්වෙන විශාල හැකර් ජාලයක කොටසක් වන අතර, ඔවුන් ප්‍රධාන වශයෙන්ම තාක්ෂණික සහාය අංශවලට දුරකථන ඇමතුම් ලබා දෙමින් සේවක මුරපද වෙනස් කරවා ගැනීමේ උපක්‍රම භාවිතා කරනවා. මේ වසරේ මුල් මාස කිහිපය තුළ පමණක් ඔවුන් කප්පම් මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 10.6කට වඩා උපයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට Uber Freight සමාගම මෙම හැකර්වරුන් සමඟ කිසියම් ගනුදෙනුවක් සිදු කර තිබේද යන්න හෝ ඔවුන්ගෙන් කප්පම් ඉල්ලීමක් ලැබී තිබේද යන්න පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. කෙසේ වෙතත්, සයිබර් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රහාර ඉතා සූක්ෂම ලෙස සිදුවන බැවින් ආයතන තම දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

Discussion & Feedback