හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ පැනමා ධජය සහිත ‘එල් ගයියා’ (El Gaia) නමැති තෙල් ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් එහි සිටි නාවිකයන් දෙදෙනෙකු අතුරුදහන් වී තිබෙනවා. ඕමාන් සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය පවසන පරිදි, ප්‍රහාරයෙන් පසු නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හටගෙන ඇති අතර, එහි සිටි අනෙක් නාවිකයන් 23 දෙනා බේරා ගැනීමට බලධාරීන් සමත් වුණා. මේ වන විට අදාළ නෞකාව ඕමාන් වරායක් වෙත රැගෙන යමින් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉරානය සහ ඇමරිකාව එකිනෙකට පරස්පර චෝදනා එල්ල කරගන්නවා. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ නෞකාව නාවික බෝම්බයක ගැටීමෙන් අනතුරට ලක්වූ බවයි. කෙසේ වෙතත්, ඇමරිකානු හමුදාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ මෙය ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් බවයි. මේ අතර, ප්‍රදේශයේ ධීවර බෝට්ටු දෙකකට ද ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති අතර, ඉන් ධීවරයන් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් වාර්තා වෙනවා.
ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කරන මෙම හෝර්මුස් සමුද්‍ර සන්ධිය මේ වන විට දැඩි අවදානම් කලාපයක් බවට පත්වෙලා. ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් හේතුවෙන් නාවික ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, අහිංසක නාවිකයන්ගේ ජීවිත දිනෙන් දින අවදානමට ලක්ව තිබෙනවා. පසුගිය කාලය පුරාම මෙවැනි ප්‍රහාර රැසක් වාර්තා වී ඇති අතර, කලාපයේ සාමය යළි ස්ථාපිත කිරීම තවමත් ගැටලුවක්ව පවතිනවා.

Discussion & Feedback