කොළඹ 10, මාලිගාවත්ත ප්‍රදේශයේ ඊයේ (29) රාත්‍රියේ සිදුවූ දරුණු ගැටුමකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන ඇතිවූ ආරවුලක් දුරදිග යාම නිසයි. රාත්‍රී 10.30ට විතර මාලිගාවත්තේ ඇඳුම් වෙළඳසැලක් අසලදී කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ මේ ගැටුම අවසානයේදී පිහියෙන් ඇන ගැනීමක් දක්වා දුරදිග ගිහින් තියෙනවා.
මේ ගැටුමෙන් බරපතළ තුවාල ලැබූ තිදෙනෙක්ව වහාම රෝහල්ගත කළත්, ඉන් තරුණයින් දෙදෙනෙක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වුණා. මියගිය අය මාලිගාවත්තේ පදිංචි 21 හැවිරිදි මොහොමඩ් අබ්දුල්ලා සහ මොහොමඩ් රෙයිහාන් කියන තරුණයින් දෙදෙනායි. මේ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 16 හැවිරිදි පිරිමි ළමයෙක් මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා.
මේ දරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විටත් විශේෂ මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. ප්‍රදේශයේ ජනතාව මේ සිද්ධියෙන් දැඩි කම්පනයට පත්වෙලා ඉන්න අතර, පොලිසිය සිද්ධිය වූ ස්ථානයේ ආරක්ෂාව තර කරමින් පරීක්ෂණ කටයුතු සිදුකරනවා.

Discussion & Feedback