කැනඩාවේ එඩ්මන්ටන් නුවර පිහිටි නානක්සාර් ගුරුද්වාරා සික් දේවස්ථානයට පසුගිය සිකුරාදා අලුයම එල්ල වූ පිහි ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. දේවස්ථානය තුළට ඇතුළු වූ සැකකරු යාඥා කරන ස්ථානයට යාමට උත්සාහ කිරීමේදී එහි සිටි පිරිසක් ඔහුව වළක්වා ගැනීමට උත්සාහ කර ඇති අතර, එම ගැටුම අතරතුරදී 75 හැවිරිදි සහ 51 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකුට පිහියෙන් ඇන තිබෙනවා. වාසනාවකට මෙන්, එම ස්ථානයේ සිටි පිරිසක් වහාම ක්රියාත්මක වී සැකකරුව අල්ලා පොලිසියට භාර දීමට කටයුතු කර තිබීම නිසා වැඩි හානියක් සිදුවී නැහැ. තුවාල ලැබූ දෙදෙනාගේ තත්ත්වය මේ වන විට ස්ථාවර බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු මීට පෙරද ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් පොලිසියට හුරුපුරුදු අයෙක් බවත්, ඔහු ප්රහාරයට පෙර දින බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි අයෙක් බවත් හෙළි වී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලෝක සික් සංවිධානය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, කැනඩාව තුළ සික් ජාතිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන වෛරී ප්රකාශ සහ ප්රහාර ඉහළ යාම පිළිබඳව ඔවුන් අවධානය යොමු කර තිබෙනවා. දේවස්ථානය තුළ තිබූ පූජනීය ග්රන්ථයකට හානි කිරීමක් සිදුවී ඇති බවටද වාර්තා වන අතර, පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ලෝකයේ පවතින දේශපාලන උණුසුම සහ බෙදීම් මෙවැනි ප්රහාරවලට හේතු විය හැකි බවත්, එවැනි ක්රියා කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි බවත් එඩ්මන්ටන් පොලිස් ප්රධානියා වැඩිදුරටත් අවධාරණය කරනවා.

Discussion & Feedback