මහියංගණය, රිදීමාලියද්ද ප්රදේශයේ ලොග්ගල්ල ඔය ජලාශයේදී පසුගිය ඉරිදා (28) ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වාර්තා වුණා. මහනුවර ප්රදේශයේ පදිංචි පිරිසක් උපන් දින සාදයක් සැමරීම සඳහා මෙම ජලාශය ආසන්නයේ තිබෙන ගොවිපළක් ලෙස පවත්වාගෙන යන සංචාරක ස්ථානයකට පැමිණ තිබෙනවා. එහිදී 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් 11 දෙනෙක් කුඩා බෝට්ටු දෙකක් එකට බැඳ සාදාගත් තාවකාලික පහුරකින් ජලාශයේ මැද තිබෙන දූපතකට ගොස් තිබෙනවා. නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී මෙම පහුර කැඩී ගොස් පෙරළීම නිසා එහි සිටි පිරිස ජලයට වැටී තිබෙනවා.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුගස්තොට සහ පූජාපිටිය ප්රදේශවල පදිංචි 40 සහ 48 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. ඔවුන් කිසිවෙකුත් ජීවිතාරක්ෂක කබා පැළඳ සිටියේ නැහැ. සිද්ධියෙන් පසු පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසු සඳුදා (29) වන විට මළ සිරුරු සොයා ගැනීමට හැකි වුණා. මහියංගණය වැඩබලන මහේස්ත්රාත්වරයා ස්ථානීය පරීක්ෂණයක් සිදුකර මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියෝග කළා. අරාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා. සංචාරක ස්ථානවල ආරක්ෂාව පිළිබඳව මෙවැනි සිදුවීම්වලින් පසුව හෝ දැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වෙනවා.

Discussion & Feedback