ඇතන්ස් නුවරට ආසන්නයේ පිහිටි ග්‍රීසියේ සලමිනා දූපතේ හදිසියේම හටගත් ලැව්ගිනි දෙකක් නිසා මේ වන විට විශාල කලබලකාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඉරිදා දහවල් කාලයේදී මිනිත්තු කිහිපයක පරතරයකින් මෙම ගින්න හටගෙන ඇති අතර, අධික සුළං තත්ත්වය නිසා ගින්න ඉතා වේගයෙන් පැතිරී යන බවයි වාර්තා වෙන්නේ. මේ වන විට මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් බොහෝ දෙනෙකු ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් බලධාරීන් පවසනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් දෙසීයකට අධික පිරිසක් සහ ගිනි නිවන රථ පනහක් යොදවා තිබෙනවා. ඒ වගේම ගුවන් යානා සහ වෙරළාරක්ෂක බෝට්ටු උපයෝගී කරගෙන මුහුදු මාර්ගයෙන් මේ වන විටත් අනූවකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තියෙනවා. සලමිනා දූපතේ කඳුකර ප්‍රදේශ හරහා ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වීමට ගිනි නිවන අංශ දැඩි උත්සාහයක නිරත වෙනවා. දූපතේ වෙසෙන වැඩිහිටි ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලධාරීන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
මේ දිනවල යුරෝපය පුරාම පවතින අධික උණුසුම් කාලගුණය නිසා මෙවැනි ලැව්ගිනි හටගැනීමේ අවදානම ඉහළ ගොස් තියෙනවා. ක්‍රොඒෂියාව සහ බෙල්ජියම වැනි රටවලත් මෙවැනිම ලැව්ගිනි තත්ත්වයන් වාර්තා වී තිබීම නිසා යුරෝපීය රටවල් මේ වන විට දැඩි අවධානයකින් පසුවන බවයි පෙනෙන්නට තියෙන්නේ. සලමිනා දූපතේ පවතින මෙම තත්ත්වය පාලනය කර ගැනීමට ගිනි නිවන භටයන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කරනවා.

Discussion & Feedback