කිරිබත්ගොඩ සහ රාගම ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීම්වලදී ආරක්ෂිත සත්ව කොටස් සහ කොරල්පර තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව රිටිගල තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය එක්ව පසුගිය ජූලි 03 වැනිදා මෙම වැටලීම් සිදුකර තිබුණා. එහිදී කිලෝග්‍රෑම් 32ක් බරැති විශාල කොරල්පරයක්, දුර්ලභ ගණයේ බෙල්ලන් විශේෂයක් වන කැටඩොන්ටස් මරියානස්, ස්පයිඩර් කොන්ච් බෙල්ලන් විශේෂයක්, කොටියෙකුගේ දතක් සහ තවත් සමුද්‍රීය සත්ව කොටස් කිහිපයක් සොයාගන්න පුළුවන් වුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 සහ 26 යන වයස්වල පසුවන අයයි. ඔවුන්ව රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී මහර සහ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව මෙවැනි ආරක්ෂිත සත්ව කොටස් හෝ කොරල්පර එකතු කිරීම, ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම හෝ වෙළඳාම් කිරීම දැඩි ලෙස තහනම් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිහිපත් කරනවා. මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback