හංගේරියාවේ මහාමාර්ගයක සිදුවුණු බිහිසුණු රිය අනතුරකින් පෝලන්ත ජාතිකයන් දොළොස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඉරිදා අලුයම එකට විතර බුඩාපෙස්ට් නුවර සිට නයිරෙගිහාසා නගරය දෙසට ගමන් කරමින් තිබුණු මේ සංචාරක බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අගලකට පෙරළී ගිහින්. මේ වෙලාවේ බස් රථයේ මගීන් පනස් හත් දෙනෙක් සහ රියදුරන් දෙදෙනෙක් ගමන් කරමින් ඉඳලා තියෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ රියදුරුට නින්ද යාම නිසා මේ බස් රථය පාලනයෙන් ගිලිහී ගිය බවටයි පොලිසිය සැක කරන්නේ. මේ වන විට අදාළ රියදුරාව පොලිස් භාරයට අරගෙන තියෙනවා.
අනතුර සිදුවුණු ගමන්ම ගිනි නිවන භටයන් සහ හදිසි සේවා කණ්ඩායම් පැමිණ බස් රථයේ සිරවී සිටි පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කළා. බස් රථය යට සිරවී සිටි මගීන් ඉවත් කර ගැනීමට දැඩි පරිශ්රමයක් දරන්න සිදුවුණු අතර, පසුව විශාල දොඹකර යොදාගෙන බස් රථය ඔසවා මගීන්ව බේරා ගැනීමට කටයුතු කළා. මේ අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඉන් නව දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වෙන්නේ. හංගේරියානු අගමැතිවරයා මේ සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් මියගිය අයගේ පවුල්වලට සිය කනගාටුව ප්රකාශ කර තිබෙනවා. තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback