දකුණු යුරෝපයේ පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ස්පාඤ්ඤයේ අල්මේරියා ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නකින් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ වන විට තවත් හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් සමහරෙක් ගින්නට හසුවූ වාහන තුළ සිටියදී සොයාගෙන තිබෙනවා. විදුලි රැහැනක් බිම ඇද වැටීමෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සාක්ෂිකරුවන් පවසනවා. මේ වන විටත් ගිනි නිවන භටයින් 150කට අධික පිරිසක් ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අතර, ප්‍රදේශවාසීන් දහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තියෙනවා.
යුරෝපය පුරා මේ දිනවල සෙල්සියස් අංශක 40 ඉක්මවූ දැඩි උණුසුම් කාලගුණයක් පවතිනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර, යුරෝපය ලෝකයේ අනෙක් කලාපවලට වඩා වේගයෙන් උණුසුම් වන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. පසුගිය වසරේදීත් යුරෝපා සංගමයේ වාර්තාගත භූමි ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වුණා. ඉදිරියේදීත් මෙවැනි දරුණු ස්වාභාවික විපත් බහුලව සිදුවිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවනවා. ස්පාඤ්ඤ අගමැතිවරයා පවසන්නේ මෙම වසරේදී ලැව්ගිනි පාලනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ විශාලතම මෙහෙයුම දියත් කර ඇති බවයි.

Discussion & Feedback