ඊජිප්තුවේ ඉතාමත් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන ‘මිෂන් ඉම්පොසිබල්’ හි නිවේදිකාවක ලෙස කටයුතු කළ සාරා කලීෆා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. මොවුන් මෙම දඬුවමට ලක්වී ඇත්තේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම වැනි බරපතල චෝදනා කිහිපයක් හේතුවෙන්. මෙම ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 750කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනීමට හැකිවී තිබෙනවා.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාරා කලීෆා තමන් මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති බවත්, තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පමණක් මෙම මත්ද්‍රව්‍ය දැක ඇති බවත් පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත්, සාක්ෂිකරුවන් 20 දෙනෙකුගේ ප්‍රකාශ සහ වීඩියෝ දර්ශන ඇතුළු ඉලෙක්ට්‍රොනික සාක්ෂි රැසක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිල්ල කටයුතු කළා. ඊජිප්තු නීතියට අනුව මරණ දඬුවම තහවුරු කිරීමට පෙර එරට මහා මුෆ්ටිවරයාගේ ආගමික මතය ලබා ගැනීම අනිවාර්ය වන අතර, එම ක්‍රියාවලියෙන් අනතුරුව මෙම තීන්දුව ස්ථිර කර තිබෙනවා.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙන පරිදි, 2025 වසරේදී පමණක් ඊජිප්තු අධිකරණ මගින් මරණ දඬුවම් 492ක් ලබා දී ඇති අතර, ඉන් 23ක් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. අපරාධ පිළිබඳව ජනතාව දැනුවත් කළ නිවේදිකාවක මෙවැනි බරපතල චෝදනාවකට ලක්වී මරණ දඬුවම ලැබීම මේ වන විට ලෝකය පුරාම විශාල කතාබහකට ලක්වී තිබෙනවා.

Discussion & Feedback