යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කළ ඇෆ්ගනිස්ථාන තරුණයන් පිරිසකට තුර්කි දේශසීමා ආරක්ෂක අංශවලින් අත්විඳින්නට සිදුවූ අමානුෂික වධහිංසා පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමුවෙලා තියෙනවා. තමන් ඇතුළු පිරිසක් තුර්කියේ වැන් නගරයේදී අත්අඩංගුවට ගත් දේශසීමා ආරක්ෂකයන්, ඔවුන්ව යකඩ පොලුවලින් දරුණු ලෙස පහර දී, ඇඳුම් පවා ගලවා හිම පතනය මැද දේශසීමාවට තල්ලු කර දැමූ බවයි මෙම තරුණයන් පවසන්නේ. -15C වැනි අධික ශීතලකදී සිදුවූ මෙම සිදුවීමෙන් අවම වශයෙන් 20 දෙනෙකු පමණ හිම වල මිදී මියගොස් ඇති අතර, දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට දරුණු හිම දෂ්ටනය නිසා අත් පා අහිමි වීමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
මේ අතරින් 21 හැවිරිදි ෂාසවාර් නම් තරුණයා පවසන්නේ තමා රෝහලේදී සිහිය ලබා බලන විට තම අත් සහ කකුල් දෙකම කපා දමා තිබූ බවයි. තවත් 13 හැවිරිදි දරුවෙකු ඇතුළු බොහෝ දෙනෙකුට මෙලෙස සදාකාලික ආබාධිතයන් වීමට සිදුව තිබීම ඇත්තෙන්ම හද කම්පා කරවන සුළුයි. තුර්කි බලධාරීන් පවසන්නේ තමන් ජාත්‍යන්තර නීතිවලට අනුව කටයුතු කරන බව වුවත්, මෙම තරුණයන් පවසන කතාවලින් පෙනී යන්නේ දේශසීමා හරහා එන සංක්‍රමණිකයන්ට ඉතාමත් අමානුෂික ලෙස සැලකෙන බවයි. ජීවිතය බේරා ගැනීමට යුරෝපයට පලා ආ මේ අහිංසක තරුණයන්ට අවසානයේ අහිමි වූයේ ඔවුන්ගේ අනාගතය පමණක් නොව, ඔවුන්ගේ ශරීර අවයව පවා වීම ඉතාම කනගාටුදායකයි.

Discussion & Feedback