අප්රිකානු මහද්වීපයේ මොරිටේනියාවේ පිහිටි කිලෝමීටර් 40ක් පමණ විශාල වෘත්තාකාර භූ විද්යාත්මක පිහිටීමක් ගැන මේ දිනවල අභ්යවකාශ ලෝලීන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ‘අප්රිකාවේ ඇස’ (Eye of Africa) කියලා හඳුන්වන මේ අපූරු නිර්මාණය හරියට කවුරුහරි හිතාමතාම ඇඳපු චිත්රයක් වගේ පෙනුනත්, ඇත්තටම මේක ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක්. මුලින්ම 1965 දී නාසා ආයතනයේ ගගනගාමීන් විසින් ඡායාරූපගත කරපු මේ රිචාට් ව්යුහය, අදටත් අභ්යවකාශයේ ඉඳන් බලන අයට හරිම විශ්මිත දසුනක් මවනවා.
මෑතකදී ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ ඉන්න ගගනගාමී ජෙසිකා මේයර් විසින් මේ ප්රදේශයේ අලුත්ම ඡායාරූප පෙළක් සමාජ මාධ්යයට එකතු කරලා තිබුණා. ඇය කියන විදිහට මේකේ තියෙන වර්ණ සහ හැඩතල දකිනකොට හිතෙන්නේ පෘථිවියම කලාත්මක නිර්මාණයක් කරලා තියෙනවා කියලයි. ඇත්තටම මේ වගේ දැවැන්ත ව්යුහයක් සම්පූර්ණයෙන්ම එකවර දැකගන්න පුළුවන් වෙන්නේ අභ්යවකාශයේ ඉඳන් විතරයි. පොළොවේ ඉඳන් බලනවාට වඩා අභ්යවකාශ මධ්යස්ථානයේ ඉඳන් බලනකොට මේ රවුම් හැඩයේ තියෙන අලංකාරය හොඳින්ම පැහැදිලි වෙනවා. දශක ගණනාවක් තිස්සේ මිනිස් ඇසට මේ දසුන කොයිතරම් හුරු වුණත්, හැමදාම අලුත් විදිහට හිතට දැනෙන මේ අපූරු දසුන ඇත්තටම පෘථිවියේ තියෙන අරුම පුදුම දේවල්වලින් එකක් කිව්වොත් නිවැරදියි.

Discussion & Feedback