ඇමරිකා එක්සත් ජනපදයේ 250 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂිත වූ නව ගමන් බලපත්‍ර මාලාවක් හඳුන්වා දීමට ට්‍රම්ප් පාලනාධිකාරිය පියවර අරගෙන තියෙනවා. මේ ගමන් බලපත්‍රවල විශේෂත්වය වෙන්නේ, ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට වත්මන් ජනාධිපතිවරයෙකුගේ රුව සහ අත්සන සහිතව මේවා නිකුත් කිරීමයි. ට්‍රම්ප් විසින්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරපු මේ නව සැලසුමේ, ඔහු රෙසොලියුට් මේසය අසල සිටින අයුරු සහ පසුබිමින් නිදහස් ප්රකාශනය දිස්වන අයුරු දැකගන්න පුළුවන්. මේවා ‘දේශප්‍රේමී ගමන් බලපත්‍ර’ ලෙසින් හඳුන්වා දී තිබෙන අතර, ජූලි 6 වැනිදා සිට සීමිත ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමට නියමිතයි.
මේ විශේෂ ගමන් බලපත්‍රය ලබාගන්නා ආකාරයත් ටිකක් වෙනස්. සාමාන්‍ය පරිදි අන්තර්ජාලය හරහා හෝ තැපෑලෙන් මේ සඳහා අයදුම් කරන්න බැහැ. ඒ වෙනුවට ඇමරිකානු පුරවැසියන් වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ගමන් බලපත්‍ර කාර්යාලයට ගිහින් පෞද්ගලිකවම හමුවීම් වෙන් කරගත යුතු වෙනවා. දැනට මේ සඳහා විශේෂිත අවස්ථා කිහිපයක් පමණක් වෙන් කර තිබුණත්, ඉදිරියේදී තවත් අවස්ථා එකතු කරන බව බලධාරීන් පවසනවා. ඇමරිකානු ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් සහ සංකේත වෙනුවට මෙවර ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් කිරීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියෙනවා. මීට අමතරව, ට්‍රම්ප්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු සහ විශේෂ රන් කාසි නිකුත් කිරීමටත් සැලසුම් කර තිබීම විශේෂත්වයක්.

Discussion & Feedback