ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘සාම මණ්ඩලය’ විසින් ගාසා තීරය යළි ගොඩනැගීම වෙනුවෙන් ඩොලර් බිලියන 2.45ක නව සැලැස්මක් එළිදක්වා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ප්‍රකාශයට පත් කළ මෙම වැඩසටහන හරහා ඉදිරි මාස හය තුළ නිවාස ඉදිකිරීම, විදුලිය සැපයුම සහ අපද්‍රව්‍ය කළමනාකරණය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර 66ක් ආවරණය කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, ගාසා තීරය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට ඉදිරි දශකය තුළ ඩොලර් බිලියන 71.4ක් පමණ වැය වනු ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. දැනට ඩොලර් බිලියන 18ක ආධාර පොරොන්දු ලැබී තිබුණත්, ඉන් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 280ක් පමණක් වීම විශාල අභියෝගයක් වී තිබෙනවා.
ජැරඩ් කුෂ්නර් ඇතුළු සාම මණ්ඩලයේ සාමාජිකයන් පවසන්නේ විවිධ බාධක මධ්‍යයේ වුවද මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ඔවුන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි. විශේෂයෙන්ම යුද කලාපයක් ලෙස පවතින ගාසා තීරයේ නොපුපුරා ඇති බෝම්බ ඉවත් කිරීම සහ භූගත උමං මාර්ග විනාශ කිරීම වැනි ආරක්ෂක කටයුතු ප්‍රමුඛතාවයක් ලෙස සැලකෙනවා. මේ අතර, ඊශ්‍රායල සහ පලස්තීන පාර්ශ්වයන් අතර එකඟතාවයක් ඇති කර ගැනීම සහ ගාසා තීරයේ අභ්‍යන්තර පාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම ද ඉදිරියේදී විසඳිය යුතු ප්‍රධාන ගැටලු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, හමාස් සංවිධානය නිරායුධ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තවමත් දැඩි ස්ථාවරයක සිටීම මෙම සාම ක්‍රියාවලියට ඇති ප්‍රධාන බාධාවක් ලෙස පවතිනවා.

Discussion & Feedback