ඇමරිකානු තාක්ෂණික දැවැන්තයන් වන ගූගල්, ඇපල්, මෙටා සහ ඇමසන් වැනි සමාගම්වලට යුරෝපා සංගමය විසින් පනවනු ලබන දැවැන්ත දඩ මුදල් සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස කෝපයට පත්වෙලා. මෑතකදී ගූගල් සමාගමට යුරෝ යුරෝ මිලියන 890ක දඩයක් පැනවීමත් සමඟ ට්‍රම්ප් මේ ගැන සිය විරෝධය පළ කර තිබෙනවා. ඇමරිකාව කියන්නේ යුරෝපයේ ‘බැංකුවක්’ නෙවෙයි කියලා පවසන ඔහු, යුරෝපා සංගමය විසින් ඇමරිකානු සමාගම් කොල්ලකෑමට ඉඩ නොදෙන බවත්, මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
ට්‍රම්ප් තර්ජනය කරන්නේ යුරෝපා සංගමය විසින් පනවා ඇති දඩ මුදල් සම්පූර්ණයෙන්ම ආපසු හරවා ගත යුතු බවයි. එසේ නොවුණහොත් යුරෝපා සංගමයට එරෙහිව ඉතා ඉහළ බදු පැනවීමට සිදුවන බව ඔහු අනතුරු අඟවනවා. දැනටමත් ඔහු රටවල් 60කට වැඩි ප්‍රමාණයකට අලුතින් බදු පැනවීමට පියවර ගෙන ඇති අතර, තාක්ෂණික සමාගම්වලට එරෙහිව ක්‍රියා කරන රටවලට 100%ක ආනයන බද්දක් පැනවීමටත් ඔහු සූදානම් වෙනවා. මේ තත්ත්වය ඉදිරියේදී ඇමරිකාව සහ යුරෝපය අතර වෙළඳ යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවටයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
මෙම තාක්ෂණික සමාගම් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කර ඇති අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ට්‍රම්ප් මේ ආකාරයෙන් කටයුතු කිරීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, යුරෝපා සංගමය පවසන්නේ තම නීති රීතිවලට අනුකූලව මෙම දඩ මුදල් පනවා ඇති බවයි. ඉදිරි දිනවලදී මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සිදුවන සාකච්ඡා සහ ගන්නා තීරණ ලෝක ආර්ථිකයට කෙබඳු බලපෑමක් ඇති කරයිද යන්න තවමත් අවිනිශ්චිතයි.

Discussion & Feedback