නාසා ආයතනයේ අලුත්ම අභ්‍යවකාශ දුරේක්ෂය වන ‘නැන්සි ග්‍රේස් රෝමන්’ අභ්‍යවකාශගත කිරීමට දැන් සියල්ල සූදානම් වෙලා තියෙනවා. මේ මස 30 වැනිදා ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ස්පේස්-එක්ස් ෆැල්කන් හෙවි රොකට්ටුවක් මගින් මෙය අභ්‍යවකාශයට යවන්නයි නාසා සැලසුම් කරලා තියෙන්නේ. පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක් දුරින් පිහිටි විශේෂ කක්ෂයකට මෙය යොමු කරන අතර, ජේම්ස් වෙබ් දුරේක්ෂයට වඩා 50 ගුණයක් විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව මේ නව දුරේක්ෂයට තියෙනවා. අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තිය ගැන සොයා බැලීම වගේම නව ග්‍රහලෝක සොයා ගැනීමත් මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණක්.
කෙසේ වෙතත්, මේ ව්‍යාපෘතියේ ගමන එතරම් ලේසි වුණේ නැහැ. පසුගිය වසරේදී ඇමරිකානු ජනාධිපතිවරයාගේ අයවැය යෝජනා හරහා මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට උත්සාහයක් තිබුණා. නාසා ආයතනයේ විද්‍යාත්මක වැඩසටහන් සඳහා විශාල මුදල් කප්පාදුවක් කිරීමට යෝජනා වීමත් සමඟ රෝමන් දුරේක්ෂයේ අනාගතය අවිනිශ්චිත වුණා. වසර ගණනාවක් තිස්සේ මේ වෙනුවෙන් මහන්සි වුණු ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් මේ තත්ත්වය නිසා දැඩි කම්පනයකට පත් වුණා. නමුත් අවසානයේදී එම බාධක ජයගෙන, වසර විස්සක පමණ වෙහෙස මහන්සියක ප්‍රතිඵලයක් විදිහට මේ දැවැන්ත දුරේක්ෂය අභ්‍යවකාශගත වීමට සූදානම් වීම විද්‍යා ලෝකයට ලොකු ජයග්‍රහණයක් වෙලා තියෙනවා.

Discussion & Feedback