නාසා ආයතනයේ ආටෙමිස් II සඳ ගවේෂණ මෙහෙයුමට එක්වුණු ගගනගාමීන් පිරිසකට ඉදිරි සිකුරාදා දින විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් හියුස්ටන් නුවර පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී මෙම ‘කොන්ග්රස් අභ්‍යවකාශ ගෞරව පදක්කම’ ඔවුන් වෙත පිරිනමනු ලබනවා. පසුගිය අප්‍රේල් මාසයේදී සඳ වටා සිදුකළ ඓතිහාසික ගමන වෙනුවෙන් මෙම ඇගයීම සිදුකෙරෙන අතර, මෙය ඇමරිකානු රජයක් විසින් ගගනගාමියෙකුට ලබාදෙන ඉහළම ගෞරව සම්මානය ලෙස සැලකෙනවා.
මෙම මෙහෙයුම සඳහා නාසා ආයතනයේ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොච් යන අයත්, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් යන අයත් එක්වුණා. 1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමෙන් පසුව පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගිය පළමු මිනිසුන් සහිත ගමන මෙය වීම විශේෂත්වයක්. දින 10ක් පුරා පැවති මෙම සාර්ථක ගමන, ඉදිරියේදී සඳේ දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිතව කඳවුරක් පිහිටුවීමේ නාසා ආයතනයේ අරමුණට විශාල ශක්තියක් වුණා. මෙම සම්මාන උළෙල එදින පෙරවරු 11ට ආරම්භ වීමට නියමිත අතර, ලොව පුරා සිටින අභ්‍යවකාශ ලෝලීන්ට එය සජීවීව නැරඹීමට අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback