ඇමරිකානු තාක්ෂණික සමාගම් ඉලක්ක කරගෙන යම් රටක් ඩිජිටල් සේවා බද්දක් හඳුන්වා දුන්නොත්, ඒ රටවලින් ඇමරිකාවට එන භාණ්ඩ මත සියයට සියයක බද්දක් පනවන්න ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කරලා තියෙනවා. තමන්ගේ ‘ටෘත් සෝෂල්’ ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්රකාශ කළේ, යුරෝපීය රටවල් කිහිපයක් ඇමරිකානු සමාගම් ඉලක්ක කරගෙන මෙවැනි බදු ක්රමයක් හඳුන්වා දීමට සූදානම් වන පසුබිමකයි. ට්රම්ප් කියන විදිහට, මේ බද්ද ක්රියාත්මක කරන ඕනෑම රටකට එරෙහිව වහාම ක්රියාත්මක වන පරිදි මේ දැඩි තීන්දුව ගන්නවා වගේම, පවතින වෙළඳ ගිවිසුම් පවා මේ හරහා අහෝසි වෙන්න පුළුවන්.
ඇමරිකාව දිගින් දිගටම මේ ඩිජිටල් සේවා බදු ක්රමයට විරුද්ධ වෙන්නේ, මේවා මගින් ඇමරිකාවේ ප්රධාන පෙළේ තාක්ෂණික සමාගම්වලට අසාධාරණයක් වෙනවා කියලා ඔවුන් විශ්වාස කරන නිසයි. මේ අතර, ලංකාවෙත් ජූලි පළවෙනිදා ඉඳන් විදේශීය සමාගම් සපයන ඩිජිටල් සේවා සඳහා සියයට 18ක වැට් (VAT) බද්දක් හඳුන්වා දෙන්න සැලසුම් කරලා තියෙනවා. හැබැයි ට්රම්ප් මේ විරුද්ධ වෙන්නේ විශේෂයෙන්ම ඇමරිකානු සමාගම්වල ආදායම ඉලක්ක කරගෙන ගහන බදු වලට නිසා, ලංකාවේ මේ වැට් බදු ක්රමය ඒ ගණයට වැටෙන්නේ නැහැ කියලයි විචාරකයෝ පෙන්වා දෙන්නේ.

Discussion & Feedback