ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අළු වෘකයන් සහ මෙක්සිකානු වෘකයන්ට ලබා දී තිබූ වඳවී යාමේ තර්ජනයට ලක්වූ සතුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට විශේෂ විධානයක් අත්සන් කර තිබෙනවා. ගොවීන්ගේ පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව පවසන ට්‍රම්ප්, ගොවිතැන ඇමරිකානු සංස්කෘතියේ සහ ආහාර සැපයුමේ වැදගත් කොටසක් බව අවධාරණය කරනවා. කෙසේ වෙතත්, මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් වසර ගණනාවක් තිස්සේ ඉතා අසීරුවෙන් ගොඩනැගූ වෘක ගහනය නැවතත් වඳවී යාමේ අවදානමකට ලක්විය හැකි බව පරිසරවේදීන් අනතුරු අඟවනවා. 1998 වසරේදී මෙක්සිකානු වෘකයන් හතර දෙනෙකු පමණක් සිටියත්, 2025 වන විට එම සංඛ්‍යාව 319 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
මෙම විධානය මගින් වෘකයන් දඩයම් කිරීමට ගොවීන්ට වහාම අවසර ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට, අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම්ට දින 90ක් ඇතුළත මෙම සතුන්ගේ ගහනය ප්‍රමාණවත් ලෙස වර්ධනය වී ඇත්දැයි සොයා බලා තීරණයක් ගැනීමට නියම කර තිබෙනවා. නමුත් පරිසර සංවිධාන පවසන්නේ වෘකයන් නිසා පශු සම්පත්වලට සිදුවන හානිය ඉතා අවම බවත්, දැනටමත් ගොවීන්ට ඒ සඳහා වන්දි ලබා දෙන බවත්ය. ට්‍රම්ප්ගේ මෙම තීරණය ගොවීන් සතුටු කිරීම සඳහා ගත් දේශපාලනික පියවරක් මිස සැබෑ අවශ්‍යතාවයක් නොවන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ වන විටත් මෙම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරිසර ක්‍රියාකාරීන් සූදානම් වෙමින් සිටිනවා.

Discussion & Feedback