ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම සහ විශ්වාසවන්තම සහායිකාවක ලෙස සැලකෙන ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් මේ මස අවසානයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. වයස අවුරුදු 28ක් වන ඇය ධවල මන්දිර ඉතිහාසයේ පත් වූ ලාබාලතම මාධ්‍ය ප්‍රකාශිකාව වන අතර, තම කුඩා දරුවන් දෙදෙනා වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමේ අරමුණින් ඇය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ජනාධිපති ට්‍රම්ප් ඇයගේ මෙම තීරණයට පූර්ණ ගෞරවය පළ කර ඇති අතර, ඇය ඉදිරියේදී රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල හඬක් ලෙස සහ තමාගේ ඉහළ පෙළේ උපදේශකවරියක ලෙස කටයුතු කරනු ඇති බවත් පවසා තිබෙනවා.
තම පවුලේ වගකීම් සහ වෘත්තීය ජීවිතය අතර සමබරතාවයක් පවත්වා ගැනීම අභියෝගාත්මක බව පවසන ලෙවිට්, මෙය තමා ගත් කටුක නමුත් වැදගත් තීරණයක් බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණා. පසුගිය කාලය පුරාම මාධ්‍ය හමුවේ ඉතා දැඩි ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි ඇය, ට්‍රම්ප්ගේ පාලන සමයේ දෙවන දීර්ඝතම කාලයක් මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කළ තැනැත්තියයි. ඇයගේ ඉවත්වීමෙන් පසු එම පුරප්පාඩුව සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. කෙසේ වෙතත්, ඇය තවදුරටත් ට්‍රම්ප් පරිපාලනය සමඟ සමීපව කටයුතු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

Discussion & Feedback