ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් වෙනිසියුලාවේ ඇති බැරල් බිලියන 65කට අධික තෙල් සංචිතවල පාලනය තමන් යටතට ගැනීමට ඓතිහාසික ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මේ හරහා ඇමරිකාවේ තෙල් සංචිත ප්රමාණය දෙගුණයකින් වැඩි කර ගැනීමටත්, ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහත දැමීමටත් හැකි වනු ඇති බවයි ට්රම්ප් පවසන්නේ. වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව, එරට තෙල් සම්පත්වල පාලනය ඇමරිකාව විසින් භාරගනු ලැබුවා. මෙම ගිවිසුම ඇමරිකානු බදු ගෙවන්නන්ට කිසිදු වියදමක් නොමැතිව සිදුකරන බවත්, එය දෙරටේම ජනතාවට විශාල ජයග්රහණයක් බවත් ඇමරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කරනවා.
මෙම ගිවිසුම හරහා වෙනිසියුලාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට ඩොලර් බිලියන 100ක පෞද්ගලික ආයෝජනයක් ලැබෙනු ඇති අතර, එමගින් දහස් ගණනකට රැකියා අවස්ථා උදාවනු ඇති බවයි වාර්තා වෙන්නේ. ලෝකයේ විශාලතම තෙල් සංචිත හිමි රට වෙනිසියුලාව වුවත්, පසුගිය කාලයේ එරට තෙල් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටුණා. කෙසේ වෙතත්, ඇමරිකානු තෙල් සමාගම්වලට එරට තෙල් කර්මාන්තය යළි නගාසිටුවීමට ආයෝජනය කරන ලෙස ට්රම්ප් දැනටමත් උපදෙස් දී තිබෙනවා. මෙම ගිවිසුම ක්රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් නිල වශයෙන් ප්රකාශයට පත් කර නැහැ.

Discussion & Feedback