ඇමරිකාවේ වොෂිංටන් නුවර පිහිටි සුප්‍රසිද්ධ කෙනඩි මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට අවසර නොලැබුණහොත්, එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා දමන බවට ට්‍රම්ප් පරිපාලනය අනතුරු අඟවා තිබෙනවා. අධිකරණ ලේඛනවලට අනුව, ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ කටයුතු නතර වුවහොත් එය අබලන් තත්ත්වයට පත්වන බවත්, අවසානයේ එය කඩා දැමීමට සිදුවන බවත් නීතිඥවරුන් පවසනවා. එපමණක් නොව, ජනාධිපති ට්‍රම්ප්ගේ නම නැවතත් ගොඩනැගිල්ලේ ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා නොදුනහොත්, ආධාරකරුවන් ඉවත්වීම නිසා මූල්‍ය අර්බුදයක් ඇති විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මීට පෙර අධිකරණ නියෝගයක් මත ජනාධිපති ට්‍රම්ප්ගේ නම මෙම ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට සිදුවූ අතර, එය නීතිවිරෝධී බවයි අධිකරණය තීන්දු කළේ. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ සමීපතමයන්ගෙන් සමන්විත කෙනඩි මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මණ්ඩලය නැවතත් ඔහුගේ නම එහි ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ල ජාතික අගනුවරටම ලැජ්ජාවක් බව පවසන ට්‍රම්ප් පාර්ශවය, එය කඩා ඉවත් කර ඒ වෙනුවට පොටෝමැක් ගඟ දෙසට මුහුණලා ඇති විශාල එළිමහන් රඟහලක් ඉදිකිරීමේ හැකියාව ගැනත් සාකච්ඡා කරනවා. ට්‍රම්ප් නැවත බලයට පත්වීමෙන් පසු වොෂිංටන් නුවර විවිධ ස්ථානවල සිදුකරන මෙවැනි වෙනස්කම් සහ ඉදිකිරීම් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

Discussion & Feedback