ඉරානය සමඟ ඉක්මනින්ම සාම ගිවිසුමකට එළඹෙන්නේ නම්, ඔවුන්ට එරෙහිව දියත් කිරීමට සැලසුම් කර තිබූ දැවැන්ත ප්‍රහාරය තාවකාලිකව නතර කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මැදපෙරදිග රටවල් කිහිපයක ඉල්ලීම මත සහ ගිවිසුමක මූලික කරුණු එකඟතාවයකට පැමිණ ඇති නිසා තමන් මෙම තීරණය ගත් බව ඔහු ‘ටෘත් සෝෂල්’ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළා. කෙසේ වෙතත්, ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ඉතා දරුණු ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සූදානම් වෙමින් සිටි බවට වාර්තා පළ වී තිබුණා. ට්‍රම්ප් පවසන්නේ තමන් ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවයි.
මේ අතර, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය අසත්‍යයක් බව පවසමින් ඉරානය එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. තමන් කිසිදු අවස්ථාවක ප්‍රහාරයක් නතර කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා නැති බවත්, ඇමරිකාවේ ඕනෑම තර්ජනයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. කලාපයේ උණුසුම් තත්ත්වය සමනය කර ගැනීමට සෞදි අරාබිය වැනි රටවල් උත්සාහ කළත්, දෙරට අතර පවතින ගැටුම් තවමත් අවසන් වී නැහැ. ඇමරිකානු ජනතාවගෙන් බහුතරයක් ද මෙම යුද ගැටුම්වලට විරුද්ධ බවයි සමීක්ෂණවලින් පෙනී යන්නේ. කෙසේ වෙතත්, ලෝක බලවතුන්ගේ මෙම බල අරගලය නිසා ගෝලීය තෙල් මිලෙහි විශාල වෙනස්කම් සිදුවෙමින් පවතින අතර, කලාපීය රටවල් ද දැඩි අවදානමක පසුවනවා.

Discussion & Feedback