ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පවසමින්, ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් චීනයේ නිෂ්පාදිත නව මානව රූපී රොබෝවරුන් සහ දියුණු තාක්ෂණික උපකරණ ආනයනය කිරීම තහනම් කිරීමට පියවර අරන් තියෙනවා. මේ තහනම ප්‍රධාන වශයෙන්ම අදාළ වෙන්නේ චීනයෙන් එන අති නවීන රොබෝවරුන්ට සහ සූර්ය පැනලවල භාවිතා කරන පවර් ඉන්වර්ටර් වැනි උපකරණවලටයි. මේවා හරහා ඇමරිකානු දත්ත සොරකම් කිරීම, ඔත්තු බැලීම හෝ සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවයි ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව පවසන්නේ.
ලෝකයේ වැඩිම මානව රූපී රොබෝවරුන් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ චීනයයි. ඒ නිසාම මේ තීරණය දෙරට අතර පවතින තාක්ෂණික තරඟයේ තවත් උණුසුම් අවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඇමරිකාවේ මේ තීරණයට දැඩි විරෝධයක් පළ කරන චීන තානාපති කාර්යාලය පවසන්නේ, ඇමරිකාව දේශපාලන අරමුණු වෙනුවෙන් වෙළඳාම අවභාවිත කරන බවයි. තමන්ගේ රටේ සමාගම්වලට එල්ල කරන මේ චෝදනා සහ සම්බාධක වහාම නතර කරන ලෙසත්, චීනය සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා බවත් ඔවුන් අනතුරු අඟවා තියෙනවා.
කෙසේ වෙතත්, දැනටමත් ඇමරිකාව තුළ භාවිතයේ පවතින රොබෝවරුන්ට මේ තහනම බලපාන්නේ නැහැ. ඇමරිකාව උත්සාහ කරන්නේ තමන්ගේ සැපයුම් දාමය ආරක්ෂා කරගනිමින් කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය අතින් චීනයට වඩා ඉදිරියෙන් සිටීමටයි. ඉදිරියේදී මේ ගැටුම දෙරටේ ආර්ථික සබඳතාවලට කොයි වගේ බලපෑමක් කරයිද කියන එක ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback