චීන සමාගමක් වන ගීලි (Geely) සතු ස්වීඩන් විදුලි මෝටර් රථ නිෂ්පාදක පෝල්ස්ටාර් (Polestar) සමාගමට ඇමරිකානු වෙළඳපොළ තුළ සිය නව වාහන අලෙවි කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ට්රම්ප් පරිපාලනයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් ක්රියාත්මක කරන ලද ‘සම්බන්ධිත වාහන රීතිය’ (Connected Vehicle Rule) යටතේ මෙම තීරණය ගෙන ඇත්තේ, චීන මෘදුකාංග හෝ දෘඩාංග අඩංගු වාහන ඇමරිකාව තුළ අලෙවි කිරීම සීමා කරමිනුයි. පෝල්ස්ටාර් සමාගම මේ සඳහා විශේෂ අවසරයක් ඉල්ලා සිටියත්, ඇමරිකානු බලධාරීන් එය ප්රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත්, දැනට වෙළඳපොළේ ඇති පෝල්ස්ටාර් 3 සහ 4 මාදිලිවල වාහන අලෙවිය සහ පාරිභෝගික සේවා කටයුතු අඛණ්ඩව සිදු කරන බව සමාගම පවසනවා. ඔවුන් සඳහන් කරන පරිදි, සමාගමේ සමස්ත විකුණුම්වලින් 94%ක්ම සිදුවන්නේ ඇමරිකාවෙන් පිටත රටවලින් නිසා, ඉදිරියේදී යුරෝපීය වෙළඳපොළ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ගීලි සමාගමටම අයත් වොල්වෝ (Volvo) සමාගමට ඇමරිකාවේ වාහන අලෙවි කිරීමට මීට පෙර අවසර ලැබුණත්, පෝල්ස්ටාර් සමාගමට මෙවැනි තහනමක් පැනවීම කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback