දශකයකට වැඩි කාලයක් තිස්සේ ලොව පුරා මිලියන 500කට අධික පරිශීලකයන් පිරිසකට සේවය සපයන Truecaller ආයතනය, තමන්ගේ සේවාවන් තවත් පුළුල් කරමින් අලුත්ම ‘Scam Checker’ සේවාව හඳුන්වා දී තිබෙනවා. මින් ඉදිරියට ඔබට ලැබෙන සැක සහිත දුරකථන අංක, වෙබ් ලින්ක් හෝ කෙටි පණිවිඩ වංචනික ඒවාදැයි දැනගැනීමට Truecaller ඇප් එක හෝ ලොග් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ගේ නිල වෙබ් අඩවියට පිවිස එම තොරතුරු ඇතුළත් කිරීමෙන් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව පරීක්ෂා කර බැලීමේ හැකියාව දැන් පවතිනවා.
වර්තමානයේ වංචාකරුවන් දුරකථන ඇමතුම්වලට පමණක් සීමා නොවී, WhatsApp වැනි පණිවිඩ හුවමාරු සේවා සහ විවිධ වෙබ් ලින්ක් හරහා ජනතාව රවටා මුදල් ලබාගැනීමට උත්සාහ කරනවා. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා Truecaller සතු විශාල දත්ත ගබඩාව සහ ඔවුන්ගේ ප්‍රජාව විසින් ලබාදෙන තොරතුරු (ScamFeed) මෙම නව සේවාව සඳහා යොදා ගන්නවා. දැනට ඉන්දියාවේ ආරම්භ කර ඇති මෙම සේවාව ඉදිරියේදී ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ අග්නිදිග ආසියානු රටවල් වෙත ව්‍යාප්ත කිරීමට නියමිතයි.
මෙම නව පියවර හරහා Truecaller ආයතනය බලාපොරොත්තු වන්නේ වංචාකරුවන්ගේ නවීන ක්‍රමවේදයන්ට සාර්ථකව මුහුණ දීමයි. විශේෂයෙන්ම යම් ලින්ක් එකක් සැක සහිත නම්, එය විවෘත කිරීමට පෙර මෙම සේවාව හරහා පරීක්ෂා කර බැලීමෙන් ඔබේ පෞද්ගලික තොරතුරු සහ මුදල් ආරක්ෂා කරගැනීමට ඔබට පුළුවන්. ඉදිරියේදී තිර රූප (screenshots) පවා උඩුගත කර පරීක්ෂා කළ හැකි අයුරින් මෙම සේවාව තවත් දියුණු කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

Discussion & Feedback