ලොව පුරා සිටින මිලියන ගණනක් රසිකයින්ගේ ආදරය දිනාගත් ‘ස්ටාර් ට්රෙක්’ (Star Trek) විද්යා ප්රබන්ධ කතා මාලාවට දැන් වයස අවුරුදු 60ක් පිරෙනවා. 1966 සැප්තැම්බර් 8 වැනිදා මුල්ම වරට රූපවාහිනියෙන් විකාශය වුණු මේ අපූරු කතා මාලාව, දශක හයක් පුරා චිත්රපට, රූපවාහිනී කතා මාලා සහ සජීවීකරණ නිර්මාණ රැසක් හරහා රසිකයින්ගේ සිත් දිනාගත්තා. මේ සුවිශේෂී සංවත්සරය සැමරීම සඳහා ලොව පුරා විවිධ උත්සව සහ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කරලා තියෙනවා.
ඇමරිකාවේ සිනමාහල් රැසක ස්ටාර් ට්රෙක් චිත්රපට නැවත ප්රදර්ශනය කිරීමටත්, විශේෂිත වූ පොප්කෝන් බාල්දි සහ පානීය කෝප්ප රසිකයින්ට ලබා දීමටත් කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම, ලන්ඩන් නුවර විද්යා කෞතුකාගාරයේදී එකවර වැඩිම පිරිසක් ‘වල්කන් සැලියුට්’ (Vulcan Salute) සංඥාව පෙන්වමින් ලෝක වාර්තාවක් පිහිටුවීමටත් රසිකයින් සූදානම් වෙනවා. හොලිවුඩයේදී ස්ටාර් ට්රෙක් නිර්මාතෘ ජීන් රොඩන්බෙරිගේ නාම පුවරුව අලුත්වැඩියා කර ගෞරව දැක්වීමටත් නියමිතයි.
වඩාත්ම විශේෂම සිදුවීම වෙන්නේ ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ සිටින යුරෝපීය අභ්යවකාශ ඒජන්සියේ ගගනගාමී සොෆී ඇඩෙනොට්, ස්ටාර් ට්රෙක් ලාංඡනය සහිත නිල ඇඳුමකින් සැරසී මේ සැමරුමට එක්වීමයි. ‘Live Long and Prosper’ යන සුප්රසිද්ධ පාඨය සිහිපත් කරමින්, තවත් දශක ගණනාවක් පුරා මේ අපූරු කතා මාලාව රසිකයින් අතර රැඳී පවතිනු ඇති බවට සැකයක් නැහැ.

Discussion & Feedback