මේ දිනවල නේපාලයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවී තිබෙන දරුණු නායයෑම් සහ ගංවතුර තත්ත්වය නිසා එරට ජනතාව දැඩි පීඩාවකට පත්වෙලා ඉන්නවා. පසුගිය අගෝස්තු මාසයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසුව නැවතත් මෙවැනි ස්වභාවික විපත් මාලාවක් ඇතිවීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. මේ වන විට පවුල් 1,900කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති අතර, නිවාස 240කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. බොහෝ දෙනෙක් තමන්ගේ දේපළ සහ ආදරණීයයන් අහිමි වීමෙන් දැඩි කම්පනයට පත්වෙලා ඉන්නා අතර, ඔවුන්ට මේ වන විට ජීවත් වීමට සිදුව ඇත්තේ තාවකාලික කූඩාරම්වලයි.
මේ අතර, නේපාලයේ සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් වන අන්නපූර්ණ කඳුකර ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි විදේශීය සංචාරකයින් විශාල පිරිසක් ද මේ ආපදා තත්ත්වය නිසා අතරමං වී සිටිනවා. මාර්ග සහ පාලම් ගසාගෙන යාම නිසා ඔවුන්ට ආපසු පැමිණීමට සිදුව ඇත්තේ ඉතාමත් අසීරු සහ භයානක කඳුකර මංපෙත් ඔස්සේයි. බොහෝ සංචාරකයින් හෙලිකොප්ටර් මගින් බේරා ගැනීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඇතැම් සංචාරකයින් පවසන්නේ නායයෑම් 20කට අධික ප්‍රමාණයක් පසුකරමින් ඉතාමත් බියකරු අත්දැකීම්වලට මුහුණ දීමට තමන්ට සිදුවූ බවයි. කෙසේ වෙතත්, තවමත් 700කට අධික පිරිසක් ආරක්ෂිතව ආපසු පැමිණීමට නොහැකිව බලා සිටින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback