උබර් (Uber) සමාගමේ සම-නිර්මාතෘ ට්‍රැවිස් කලනික් මේ දිනවල වෙන්චර් කැපිටල් (VC) ආයෝජකයින් සම්බන්ධයෙන් ඉතාමත් විවේචනාත්මක අදහස් කිහිපයක් පළ කර තිබෙනවා. ඔහු පවසන විදිහට, තමන්ගේ ව්‍යාපාරික ගමනේදී හමුවන ආයෝජකයින්ගෙන් ඇත්තටම ප්‍රයෝජනයක් තියෙන්නේ 1%කට පමණයි. බොහෝ ආයෝජකයින් ව්‍යාපාරිකයින්ට උදව් කරනවා වෙනුවට, තමන්ගේ බලපෑම පෙන්වීමට උත්සාහ කරන බවත්, ඔවුන් ව්‍යාපාරයක ගැඹුරටම සම්බන්ධ නැති නිසා ඔවුන්ගේ උපදෙස් බොහෝ විට ප්‍රායෝගික නොවන බවත් ඔහු පෙන්වා දෙනවා. කලනික් මේ අදහස් පළ කළේ ඩේවිඩ් සෙන්රාගේ පොඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින්.
කලනික් තමන්ගේ අතීත අත්දැකීම් ගැනත් මෙහිදී විවෘතව කතා කළා. විශේෂයෙන්ම උබර් සමාගමෙන් ඔහු ඉවත් වීමට සිදු වූ සිදුවීම ගැන ඔහු තවමත් කලකිරීමකින් පසුවන බව පෙනෙන්නට තිබෙනවා. නමුත් ඔහු තරුණ ව්‍යවසායකයින්ට උපදෙස් දෙන්නේ ආයෝජකයින් ගැන බියෙන් කටයුතු කරනවාට වඩා, තමන්ගේ ව්‍යාපාරික සැලසුම් ඉතාම පැහැදිලිව ඉදිරිපත් කර ආයෝජකයින් අතර තරඟයක් ඇති කරගන්නා ලෙසයි. ඒ වගේම, ඕනෑම අසාර්ථකත්වයකදී ‘වින්දිතයෙකු’ ලෙස සිතනවා වෙනුවට, තමන්ගේ පැත්තෙන් සිදු වූ වැරදි මොනවාදැයි විමසා බැලීම වැදගත් බව ඔහු අවධාරණය කරනවා. තමන්ගේ අතීත කළමනාකරණ විලාසය ගැනත් ඔහු මෙහිදී විවෘතව අදහස් දැක්වූ අතර, අද වන විට ඔහු තමන්ගේ නවතම රොබෝ තාක්ෂණික සමාගම වන ‘ඇටම්ස්’ (Atoms) වෙනුවෙන් විශාල ආයෝජන ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වී සිටිනවා.

Discussion & Feedback