පේරු රාජ්‍යයේ ලෝක ප්‍රසිද්ධ නස්කා රේඛා (Nazca Lines) නැරඹීමට ගිය කුඩා සංචාරක ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 13 දෙනෙකුම ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. පසුගිය සෙනසුරාදා පස්වරුවේ සිදු වූ මෙම කනගාටුදායක සිදුවීමෙන් මියගිය පිරිස අතර මගීන් 11 දෙනෙක් සහ ගුවන් නියමුවන් දෙදෙනෙක් සිටින බවයි එරට බලධාරීන් තහවුරු කරන්නේ. පීස්කෝ ගුවන්තොටුපළෙන් පිටත් වූ මෙම යානය පුවෙබ්ලෝ වීජෝ ප්‍රදේශයට කඩා වැටී ඇති අතර, අනතුරේ බරපතලකම නිසා කිසිවෙකුත් දිවි ගලවාගෙන නැහැ. මේ වන විටත් සිරුරු කිහිපයක් සොයාගෙන ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම නස්කා රේඛා කියන්නේ වසර 1600කට වඩා පැරණි, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ඉතාමත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක්. කෙසේ වෙතත්, මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගුවන් අනතුරු සිදුවීම අලුත් දෙයක් නෙවෙයි. මීට පෙර 2022 වසරේදී සහ 2010 වසරේදීත් මෙවැනිම කුඩා ගුවන් යානා අනතුරට ලක්වීමෙන් සංචාරකයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් නස්කා ප්‍රාදේශීය බලධාරීන් පවසා තිබෙන්නේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි කම්පනයට පත්ව සිටින බවත්, මියගිය අයගේ පවුල්වල සාමාජිකයින්ට සිය ශෝකය ප්‍රකාශ කරන බවත්ය. අදාළ ගුවන් යානය අයත් වන්නේ පේරු රාජ්‍යයේ ‘ඇරෝඩියානා’ (Aerodiana) නම් ගුවන් සේවයටයි.

Discussion & Feedback