චීනයේ පෞද්ගලික අභ්යවකාශ සමාගමක් වන ‘ලෑන්ඩ්ස්පේස්’ (LandSpace) විසින් අභ්යවකාශ ඉතිහාසයට එක්වන සුවිශේෂී ජයග්රහණයක් පසුගියදා වාර්තා කළා. ඔවුන්ගේ ‘ෂුකේ-3’ (Zhuque-3) රොකට්ටුවේ පළමු අදියර සාර්ථකව පෘථිවිය මත ගොඩබස්වන්නට ඔවුන් සමත් වුණා. චීන සමාගමක් මෙවැනි ආකාරයකින් කක්ෂීය රොකට්ටුවක් ගොඩබස්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. මීට පෙර චීන රාජ්ය ආයතනයක් විසින් රොකට්ටුවක් මුහුදේ පාවෙන දැලකට ගොඩබස්වා තිබුණත්, ගොඩබිමක ස්ථාවරව රොකට්ටුවක් ගොඩබස්වන්නට හැකි වුණේ ලෑන්ඩ්ස්පේස් සමාගමටයි.
මෙම රොකට්ටුව නිර්මාණය කර තිබෙන්නේ ස්පේස්-එක්ස් (SpaceX) සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවට සමාන තාක්ෂණයකින්. විශේෂයෙන්ම මෙහි ඉන්ධන ලෙස ද්රව මීතේන් සහ ද්රව ඔක්සිජන් භාවිත කිරීම නිසා මෙය වඩාත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී බවයි විද්යාඥයන් පවසන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදුකළ පළමු උත්සාහය අසාර්ථක වී රොකට්ටුව පුපුරා ගියත්, මෙවර ඔවුන් එම අභියෝගය ජයගෙන තිබෙනවා. මෙය අනාගතයේදී නැවත නැවත භාවිත කළ හැකි රොකට් තාක්ෂණය දියුණු කිරීමට චීනයට ලැබුණු විශාල පිටුවහලක්.
මෙම සාර්ථක මෙහෙයුම හරහා ‘හොංහු 03’ නමැති චන්ද්රිකාව නියමිත කක්ෂයට යැවීමටත් ඔවුන්ට හැකි වුණා. මේ වන විට ලෝකයේ ප්රධාන පෙළේ අභ්යවකාශ සමාගම් රොකට් නැවත භාවිත කිරීමේ තාක්ෂණය දියුණු කිරීමට තරඟයක නිරත වෙනවා. ලෑන්ඩ්ස්පේස් සමාගමේ මෙම ජයග්රහණයත් සමඟ චීනයත් එම තරඟයේ ඉදිරියෙන්ම සිටින බව තහවුරු වී තිබෙනවා. ඉදිරියේදී මෙවැනි රොකට් මගින් අභ්යවකාශ ගමන් වඩාත් පහසු සහ ලාභදායී වනු ඇති බවයි විශේෂඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback