ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි පොමාස් නම් කුඩා ගම්මානයට පසුගිය සඳුදා හදිසියේම කඩා වැදුණු දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් විශාල විනාශයක් සිදුවෙලා තියෙනවා. පැයට කිලෝමීටර් 117ක වේගයෙන් හමා ගිය මෙම සුළි කුණාටුව නිසා නිවාස 300කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් 15 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි බලධාරීන් පවසන්නේ. ගම්වාසීන් පවසන පරිදි, වසර දහසක් පැරණි ඓතිහාසික බලකොටුවක කොටසක් පවා මෙම සුළි කුණාටුවෙන් කඩා වැටී තිබෙනවා. මේ වන විට ගම්මාන දහයක නිවාස 2,800කට පමණ විදුලිය විසන්ධි වී ඇති අතර, හදිසි ආපදා සේවකයින් 120කට අධික පිරිසක් සහන කටයුතු සඳහා යොදවා තිබෙනවා.
මෙම ආපදාව නිසා ප්‍රදේශයේ පැවති ‘Vuelta a España’ පාපැදි තරගාවලියද අතරමග නතර කිරීමට සිදුවුණේ දැඩි අයිස් වැස්සක් පතිත වීම නිසයි. ප්‍රංශයේ කාලගුණ විද්‍යා අංශ මගින් කලින්ම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණත්, මෙවැනි දරුණු සුළි කුණාටුවක් හදිසියේම ඇතිවීම ජනතාව දැඩි භීතියට පත් කළා. නිවාසවල වහලවල් ගැලවී ගිය ආකාරයත්, ගස් උදුරා දමා තිබූ ආකාරයත් දකින විට මෙය කෙතරම් දරුණු එකක්දැයි වටහා ගන්න පුළුවන්. ගිම්හාන කාලයේ ඇති වූ දැඩි උෂ්ණත්වය සහ ලැව්ගිනිවලින් පසුව ප්‍රංශයට බලපෑ මෙම ස්වභාවික ආපදාව එරට ජනතාවට තවත් විශාල පීඩනයක් ගෙන දී තිබෙනවා.

Discussion & Feedback