ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනාගත් ස්පයිඩර්-මෑන් චරිතයට පණ පොවන ටොම් හොලන්ඩ්, ඉදිරියේදී තමන් මේ චරිතයෙන් සමුගැනීමට සූදානම් බව පවසා තිබෙනවා. ‘හැපි සැඩ් කන්ෆියුස්ඩ්’ පොඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, තමන්ගෙන් පසුව ස්පයිඩර්-මෑන් චරිතය වෙනත් අයෙකුට භාරදීම සඳහා මේ වන විටත් පැහැදිලි සැලැස්මක් සකස් කරමින් පවතින බවයි. ‘ස්පයිඩර්-මෑන්: නෝ වේ හෝම්’ චිත්රපටයෙන් පසුව මේ පිළිබඳව තමන් දැඩි උනන්දුවකින් කටයුතු කරන බවත්, එය ඉතාමත් උද්යෝගිමත් අත්දැකීමක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
තමන්ට රොබට් ඩව්නි ජූනියර් මඟ පෙන්වූ ආකාරයටම, අනාගතයේදී ස්පයිඩර්-මෑන් චරිතයට එක්වන නවක නළුවාට උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට තමන් දැඩි කැමැත්තකින් පසුවන බව හොලන්ඩ් සඳහන් කරනවා. මයිල්ස් මොරාලෙස් හෝ ස්පයිඩර්-වූමන් වැනි ඕනෑම චරිතයක් සඳහා මඟ පෙන්වීමට තමන් සූදානම් බවයි ඔහු පවසන්නේ. විශේෂයෙන්ම, තමන්ගේ අනුප්රාප්තිකයා ලෙස දක්ෂ නළුවෙකු වන ඕවන් කූපර්ගේ නමද ඔහු යෝජනා කර තිබෙනවා. කෙසේ වෙතත්, ස්පයිඩර්-මෑන් විශ්වයේ විවිධ නිර්මාණ බිහිවීම ඉතා හොඳ දෙයක් බවත්, විශේෂයෙන්ම සෝනි සමාගම නිෂ්පාදනය කරන සජීවීකරණ චිත්රපටවල ඇති ගුණාත්මකභාවය ගැන තමන් ඉතාමත් පැහැදී සිටින බවත් ඔහු ප්රකාශ කළා. ඉදිරියේදී ස්පයිඩර්-මෑන් චරිතය වෙනස් වුවත්, එහි ඇති ආකර්ෂණය කිසිදා අඩු නොවනු ඇති බවයි රසිකයන්ගේ මතය වී තිබෙන්නේ.

Discussion & Feedback