මේ දවස්වල ජපානයේ පවතින දැඩි උෂ්ණත්වය නිසා ටෝකියෝ නගර සභාව විසින් කාර්යාල සේවකයන්ට සැහැල්ලු ඇඳුම් ඇඳීමට අවසර දීලා තියෙනවා. ඒ අනුව ටී-ෂර්ට්, ට්රේනර්ස් වගේම කොට කලිසම් ඇඳගෙන වැඩට එන්නත් දැන් අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ ‘ටෝකියෝ කූල් බිස්’ (Tokyo Cool Biz) වැඩසටහන හඳුන්වා දුන්නේ ටෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ මහත්මිය විසින්. ගිම්හාන කාලයේදී විදුලිය ඉතිරි කරගන්න සහ සේවකයන්ට පහසුවෙන් වැඩ කරන්න මේක ලොකු උදව්වක් කියලා තමයි ඔවුන් කියන්නේ.
නමුත් මේ තීරණයත් එක්ක කාර්යාල ඇතුළේ අලුත්ම විදියේ ප්රශ්නයක් මතුවෙලා තියෙනවා. ගොඩක් කාන්තාවන් කියන්නේ පිරිමි සේවකයන් කොට කලිසම් ඇඳගෙන එද්දී ඔවුන්ගේ කකුල්වල තියෙන රෝම දකින්න ලැබීම අපහසුතාවයක් කියලා. මේක සමහරු ‘leg hair harassment’ නැත්නම් ‘සුනෙහාරා’ කියලා හඳුන්වනවා. ඒ විතරක් නෙවෙයි, කාන්තාවන්ට තවමත් ටයිට්ස් වගේ ඇඳුම් අනිවාර්ය වෙලා තියෙන එක අසාධාරණයි කියලත් ඔවුන් චෝදනා කරනවා. මේ නිසාම මේ දවස්වල පිරිමි සේවකයන් අතර ලේසර් තාක්ෂණයෙන් කකුල්වල රෝම ඉවත් කරගැනීමේ ප්රවණතාවයකුත් වැඩි වෙලා තියෙනවා.
ජපානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යන නිසා මේ වගේ පියවරක් ගත්තත්, සමාජීය වශයෙන් මේක තවමත් ලොකු කතාබහකට ලක්වෙන මාතෘකාවක් වෙලා තියෙනවා. ගොඩක් අය හිතන්නේ වැඩ කරන තැනකදී තමන්ගේ පෙනුම ගැන වගේම අනිත් අයට අපහසුතාවයක් නොවෙන විදිහට ඇඳුම් පැළඳුම් තෝරාගැනීම වැදගත් කියලයි. කොහොම වුණත්, මේ දැඩි උණුසුම මැද වැඩ කරන අයට සහනයක් ලැබෙනවාද නැත්නම් මේක තවත් ප්රශ්නයක් වෙනවාද කියන එක ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback