ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු දූත පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් දිල්ලි ප්‍රධාන අමාත්‍ය රේඛා ගුප්තා මහත්මියව හමුවී තිබෙනවා. මෙම හමුවට දිල්ලි අධ්‍යාපන අමාත්‍ය ආශිෂ් සූද් මහතාත් සහභාගි වුණා. එහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වුණේ මහජන සුබසාධනය, සංවර්ධන කටයුතු සහ පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධති පිළිබඳවයි. විශේෂයෙන්ම දිල්ලි නගරයේ ක්‍රියාත්මක වන විදුලි බස් රථ ව්‍යාපෘති සහ විදුලි වාහන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ගැනත්, ඒ සඳහා අවශ්‍ය ආරෝපණ මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීම ගැනත් දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.
මීට අමතරව කාන්තාවන්ගේ සුබසාධනය, ඔවුන්ගේ ආර්ථික සවිබල ගැන්වීම සහ ස්වාධීනත්වය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් පිළිබඳවත් මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති පියවරයන් ගැනත් දිල්ලි බලධාරීන් මෙහිදී පැහැදිලි කළා. ටිල්වින් සිල්වා මහතා ශ්‍රී ලංකාවේ දැනට සිදුවෙමින් පවතින සමාජ හා ආර්ථික වෙනස්කම් සහ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කළා.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ‘පිරිසිදු ශ්‍රී ලංකාවක්’ වැඩසටහන යටතේ පරිසරය පිරිසිදුව තබා ගැනීමට සහ ජනතාවගේ ආකල්පවල වෙනසක් ඇති කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ගැනත් මෙහිදී අවධානය යොමු වුණා. දෙරටේම පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙවැනි හුවමාරු වැඩසටහන් ඉතා වැදගත් බවයි දෙපාර්ශ්වයම පෙන්වා දුන්නේ.

Discussion & Feedback