කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා ශ්රී ලාංකිකයන් තිදෙනෙකු ඉතියෝපියාවට ගෙන්වාගෙන පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. කිලිනොච්චියේ පදිංචි පුද්ගලයෙක් ලබා දුන් උපදෙස් මත ඩුබායි හරහා ඉතියෝපියාවට ගිය මෙම තරුණයන් තිදෙනා එහිදී විදේශීය අපරාධ කල්ලියක් විසින් පැහැරගෙන තිබුණා. මේ සඳහා ඔවුන් රුපියල් ලක්ෂ 64ක මුදලක් සැකකරුට ලබා දී තිබූ අතර, පසුව ඔවුන්ව බේරා ගැනීමට යැයි පවසමින් සැකකරු විසින් ඔවුන්ගේ ඥාතීන්ගෙන් තවත් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කර ඇති බවත් විමර්ශනවලදී හෙළි වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මානව ජාවාරම් විමර්ශන අංශය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව, සැකකරු නෙදුන්කේණි ප්රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඉතියෝපියාවේ අඩිස් අබාබා පොලිසිය සහ රාජ්ය තාන්ත්රික අංශ සමඟ එක්ව සිදු කළ මෙහෙයුමකින් පසු ජුනි 6 වනදා මෙම තරුණයන් තිදෙනාව බේරා ගැනීමට හැකි වූ අතර, ඒ සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයන් සිව්දෙනෙක් සහ ඉතියෝපියානු ජාතිකයෙක්වද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය, වවුනියාව සහ කිලිනොච්චිය ප්රදේශවල පදිංචි 26ත් 34ත් අතර වයසේ පසුවන මෙම තරුණයන් තිදෙනාව පසුගිය අගෝස්තු 1 වනදා යළිත් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා. සැකකරු සහ මෙම විදේශීය අපරාධ කල්ලිය අතර ඇති සම්බන්ධතා පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

Discussion & Feedback