මොනාකෝ රාජ්‍යයේ ප්‍රංශ දේශසීමාව ආසන්නයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලක් අසල ඊයේ රාත්‍රියේ සිදුවූ බිහිසුණු පිපිරීමකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 9ට පමණ මෙම පිපිරීම සිදුවී ඇත්තේ ගොඩනැගිල්ලක් අසල දමා ගොස් තිබූ බෑගයක් හේතුවෙන්. මෙම සිද්ධියෙන් තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතළ බවයි වාර්තා වෙන්නේ. ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රංශයේ නීස් නුවර රෝහලක් වෙත රැගෙන ගොස් තිබෙනවා.
මොනාකෝ රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය ක්‍රිස්ටෝෆ් මිර්මන්ඩ් පවසන පරිදි, මෙය ඉතාමත් සැලසුම් සහගත ප්‍රහාරයක් බවට සැක කෙරෙනවා. පිපිරීම සඳහා යොදාගෙන ඇත්තේ බෝල්ට් සහ පෙති වර්ග අඩංගු පුපුරණ ද්‍රව්‍යයක් බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ. ආරක්ෂක කැමරා දර්ශනවලින් සැකකරු ප්‍රංශය දෙසට පලා යන අයුරු දැකගන්න පුළුවන්. මොනාකෝ ඉතිහාසයේ මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් සිදුවූ පළමු අවස්ථාව මෙය බවයි බලධාරීන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මොනාකෝහි ඇල්බට් කුමරු පවසා තිබෙන්නේ මෙය මුළු රටටම විශාල කම්පනයක් ගෙන දුන් ඉතාමත් පිළිකුල් සහගත අපරාධයක් බවයි. මේ වන විට පොලිසිය සහ හදිසි සේවා අංශ 100කට අධික පිරිසක් සිද්ධිය වූ ස්ථානයට යොදවා තිබෙනවා. ප්‍රංශ බලධාරීන් සමඟ එක්ව සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි තොරතුරු අද දිනයේදී ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

Discussion & Feedback