ඇමරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සිදුවීම් පසුගිය කාලය පුරාම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. වසර 16කට පසුව පළමු වතාවට, විවිධ ප්‍රාන්ත තුනකදී මිනීමැරුම් චෝදනා ලැබූ පුද්ගලයින් තිදෙනෙකුට එකම දිනකදී මරණ දඬුවම ලබා දීමට නියමිතයි. ඇමරිකාවේ මරණ දඬුවම සම්බන්ධයෙන් පවතින මෙම ප්‍රවණතාවය මේ වන විට ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා. 2021 වසරට සාපේක්ෂව 2025 වසරේදී මරණ දඬුවම ලබා දුන් සංඛ්‍යාව හතර ගුණයකින් පමණ ඉහළ යාම මෙයට කදිම නිදසුනක්.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මරණ දඬුවම දැඩි ලෙස අනුමත කරන අයෙක්. ඔහු සිය පාලන සමයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සහ පහසුකම් පුළුල් කිරීමට පියවර ගත්තා. විශේෂයෙන්ම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස්ගේ මැදිහත්වීම මත මරණ දඬුවම ලබා දීමේ නීති ලිහිල් කිරීම නිසා, එම ප්‍රාන්තය ඇමරිකාවේ වැඩිම මරණ දඬුවම් සංඛ්‍යාවක් වාර්තා කරන ප්‍රාන්තය බවට පත්ව තිබෙනවා. ජූරි සභිකයින්ගේ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම සහ මරණ දඬුවම ලබා දිය හැකි අපරාධ ගණය පුළුල් කිරීම මීට ප්‍රධාන හේතුවක්.
කෙසේ වෙතත්, ඇමරිකානු සමාජය තුළ මරණ දඬුවම සම්බන්ධයෙන් පවතින්නේ දෙගිඩියාවක්. මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ නීතිමය ක්‍රියාපටිපාටි සහ අභියාචනා හේතුවෙන් මෙම තීරණවල සැබෑ බලපෑම ඉදිරි වසර කිහිපය තුළදී පමණක් පැහැදිලි වනු ඇති බවයි. කෙසේ වෙතත්, වත්මන් දේශපාලන වාතාවරණය තුළ ඇමරිකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ වේගය තවදුරටත් ඉහළ යනු ඇති බවටයි විචාරකයින් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback