රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් තවත් උග්‍ර කරමින් දෙරටම ඉලක්ක කර ගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් පසුගියදා එල්ල වුණා. මේ ප්‍රහාරවලින් යුක්රේනයේ අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු අතර තවත් දස දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. යුක්රේනයේ අගනුවර වන කියෙව් නුවර පිහිටි පොත් වෙළඳපොළකට රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල වීම නිසා විශාල ගින්නක් හටගෙන තිබෙනවා. යුක්රේන බලධාරීන් පවසන්නේ තමන් රුසියානු මිසයිල තුනක් සහ ඩ්‍රෝන යානා සියයකට ආසන්න ප්‍රමාණයක් විනාශ කළ බවයි. මේ අතර සපොරීෂියා සහ දිනිප්රොපෙත්රොව්ස්ක් ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාරවලින් ද ජීවිත හානි වාර්තා වී තිබෙනවා.
අනෙක් පසින් රුසියාවේ මොස්කව් නුවර දෙසට යුක්රේනය විසින් ඩ්‍රෝන යානා 600ක් පමණ එල්ල කර ඇති බව මොස්කව් නගරාධිපතිවරයා පවසනවා. මෙහිදී රුසියාවේ ප්‍රධාන පෙළේ අන්තර්ජාල වෙළඳ සමාගමක් වන ‘වයිල්ඩ්බෙරිස්’ ගබඩාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එයින් විශාල ගින්නක් හටගෙන තිබෙනවා. රුසියාවේ හමුදා සැපයුම් ජාලය අඩපණ කිරීමේ අරමුණින් යුක්රේනය මෙවැනි ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වෙන්නේ. මේ අතරතුර රුමේනියානු දේශසීමාව ආසන්නයට පැමිණි නාඳුනන ඩ්‍රෝන යානයක් ස්පාඤ්ඤ ප්‍රහාරක ජෙට් යානයක් මගින් වෙඩි තබා බිම හෙළීමට කටයුතු කර තිබෙනවා. යුද්ධය තවදුරටත් උණුසුම් වෙමින් පවතින අතර දෙරටේම සාමාන්‍ය ජනතාව මේ නිසා දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

Discussion & Feedback