රුසියාව විසින් යුක්රේනය ඉලක්ක කරගෙන ඊයේ රාත්‍රියේ එල්ල කළ දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් අහිංසක සිවිල් වැසියන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ අතර වයස අවුරුදු හයක දැරියක් සහ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකුත් ඉන්නවා. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් නගරය වන ක්‍රිවි රිහ් ආසන්නයේ පිහිටි රදුෂ්නේ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන අතර, තවත් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ. රුසියාව මිසයිල 70කට අධික ප්‍රමාණයක් සහ ඩ්‍රෝන යානා 280කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ප්‍රහාරය සඳහා යොදාගෙන තියෙනවා.
මේ අතර, රුසියාව එල්ල කළ මෙම ප්‍රහාරයේදී මිසයිලයක් පෝලන්ත දේශසීමාව හරහා ගමන් කර එරට භූමියට කඩා වැටී ඇති බව පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් තහවුරු කර තිබෙනවා. නැගෙනහිර පෝලන්තයේ කෙතකට කඩා වැටුණු මෙම මිසයිලය රුසියානු නිෂ්පාදිත Kh-101 වර්ගයේ මිසයිලයක් බවටයි සැක කෙරෙන්නේ. නේටෝ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් සිදුවූ මෙම සිදුවීමත් සමඟ පෝලන්ත හමුදාව තම ප්‍රහාරක ජෙට් යානා සීරුවෙන් තබා තිබෙනවා. යුක්රේනයේ කීව්, ල්විව් සහ පොල්ටාවා වැනි නගර රැසකටම මෙම ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති අතර, සාමාන්‍ය ජනතාවගේ නිවාස සහ යටිතල පහසුකම් රැසක් මේ වන විට සුන්බුන් බවට පත්වෙලා තියෙනවා.

Discussion & Feedback