යාපනය, කුඩාරප්පු මුහුදු තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අස්වනු නෙළමින් සිටි පුද්ගලයින් තිදෙනෙක්ව ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. සැප්තැම්බර් 5 වැනිදා උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී තමයි මේ සැකකරුවන්ව අල්ලගන්න පුළුවන් වුණේ. මොවුන් සැකකටයුතු බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී නාවික හමුදාව විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එම පරීක්ෂාවේදී නීති විරෝධී ලෙස රාත්රී කාලයේ කිමිදෙමින් අල්ලාගත් මුහුදු කූඩැල්ලන් 673ක් බෝට්ටුවේ තිබී සොයාගෙන තියෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 51ත් 56ත් අතර පසුවන මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ. නීති විරෝධී ලෙස මුහුදු සම්පත් විනාශ කිරීමේ මේ ක්රියාවලිය නිසා පරිසරයට සිදුවන හානිය ඉතාම වැඩියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, ඔවුන් සතුව තිබූ මුහුදු කූඩැල්ලන් තොගය, බෝට්ටුව සහ ධීවර ආම්පන්න සියල්ලම ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා. මෙවැනි නීති විරෝධී ක්රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිගින් දිගටම මෙහෙයුම් ක්රියාත්මක කරන බවත් වැඩිදුරටත් දැනගන්න ලැබෙනවා.

Discussion & Feedback