දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයකදී කාන්තාවන් නව දෙනෙකුගේ මළ සිරුරු හමුවීමත් සමඟ එරට දැඩි නොසන්සුන්තාවයක් ඇතිවෙලා තියෙනවා. මේ අතරින් ජබුලිලේ එන්ටිම්බා නම් කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා දෝන් පාර්ක් ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී ඇයගේ සිරුර සොයාගෙන තිබුණේ රෙද්දක ඔතා අඩ නිරුවත් තත්ත්වයෙන්. මෙම අත්අඩංගුවට ගැනීම සිද්ධිය විසඳා ගැනීමට ලැබුණු ලොකු ජයග්‍රහණයක් බවයි පොලිසිය පවසන්නේ.
මෙම ඝාතන මාලාව පිටුපස සිටින්නේ එකම පුද්ගලයෙක්ද නැත්නම් මේවා වෙන වෙනම සිදුවූ අපරාධද යන්න තවමත් තහවුරු කරගෙන නැහැ. කෙසේ වෙතත්, එන්ටිම්බාගේ ඝාතනය ප්‍රේම සම්බන්ධයක් හෝ ත්‍රිකෝණාකාර ප්‍රේම සම්බන්ධයක් නිසා සිදුවූවක් බවට පොලිසිය සැක පළ කරනවා. දකුණු අප්‍රිකාවේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා ලෝකයේ ඉහළම මට්ටමක පවතින අතර, පසුගිය අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් හය දෙනෙකු බැගින් ඝාතනය වී ඇති බව මානව හිමිකම් කොමිසමේ දත්ත පෙන්වා දෙනවා. මේ නිසා එරට කාන්තාවන් දැඩි බියකින් සහ අනාරක්ෂිත බවකින් පසුවන අතර, මෙම අමානුෂික ඝාතනවලට එරෙහිව රට පුරා දැඩි විරෝධතා සහ හඬක් නැගෙමින් තිබෙනවා.

Discussion & Feedback