ස්පාඤ්ඤයේ ටොලෙඩෝ, මැඩ්රිඩ් සහ ඇවිලා වැනි ප්රදේශවල පැතිර ගිය දරුණු ලැව්ගිනි හේතුවෙන් අවතැන්ව සිටි දහස් ගණනකට මේ වන විට යළි සිය නිවෙස් වෙත යාමට බලධාරීන් අවසර ලබා දී තිබෙනවා. මැඩ්රිඩ් කලාපයෙන් පමණක් 24,000කට ආසන්න පිරිසකට සිය නිවෙස් වෙත යාමට අවස්ථාව ලැබී ඇති අතර, තවත් පිරිසක් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කර තිබෙනවා. කෙසේ වෙතත්, ස්පාඤ්ඤය සහ ප්රංශය මේ වන විට ගිම්හාන සමයේ සිව්වන උණුසුම් කාලගුණික රැල්ලට මුහුණ දීමට සූදානම් වෙමින් සිටින නිසා තවමත් ලැව්ගිනි පිළිබඳ බිය පහව ගොස් නැහැ.
විශේෂයෙන්ම බර්ගෝහොන්ඩෝ ප්රදේශයේ හටගත් ලැව්ගින්න ස්පාඤ්ඤ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම ලැව්ගින්න ලෙස සැලකෙනවා. මේ වන විට හෙක්ටයාර 207,000කට වඩා වැඩි භූමි ප්රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති අතර, ඉදිරි පැය කිහිපය ඉතා තීරණාත්මක බව අගමැති පේද්රෝ සැන්චෙස් පවසනවා. උෂ්ණත්වය ඉහළ යාම සහ වියළි සුළං හේතුවෙන් පාලනය කර ඇති ගිනි නැවත ඇවිලීමේ අවදානමක් පවතින බවයි ගිනි නිවන අංශ අනතුරු අඟවන්නේ. ප්රංශයේ ගිරොන්ඩ් කලාපයේද තත්ත්වය තවමත් අවදානම් සහගතව පවතින අතර, ආරක්ෂක කර්මාන්තශාලා ආශ්රිත ප්රදේශ ආරක්ෂා කර ගැනීමට විශේෂ පියවර ගෙන තිබෙනවා.
නිවෙස් බලා ගිය බොහෝ දෙනෙකුට අහිමි වූ දේපළ සහ රැකියා නිසා යළි ජීවිතය ගොඩනඟා ගැනීම ඉතා අසීරු කාර්යයක් වනු ඇති බව ප්රදේශයේ නගරාධිපතිවරුන් පවසනවා. මේ අතර, අල්මේරියා ප්රදේශයේ හටගත් ගින්නකින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවක් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත්, බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උපරිම අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි.

Discussion & Feedback