අභ්‍යවකාශ විද්‍යාඥයන් විසින් ක්ෂීරපථය තුළ තිබෙන අසාමාන්‍ය ‘ප්‍රදීපාගාරයක්’ හෙවත් පල්සාර් (Pulsar) තාරකාවක් වටා ඇති චුම්බක ක්ෂේත්රය ප්‍රථම වතාවට සිතියම්ගත කර තිබෙනවා. PSR J1101−6101 ලෙස නම් කර ඇති මෙම පල්සාර් තාරකාව, සුපර්නෝවා පිපිරීමකින් පසු ඉතිරි වූ ඉතා ඝන නියුට්‍රෝන තාරකාවක්. නාසා ආයතනයේ IXPE දුරේක්ෂය භාවිතයෙන් සිදුකළ මෙම පර්යේෂණයෙන් හෙළි වුණේ, මෙම තාරකාවෙන් පිටවන අධි-ශක්ති අංශු අභ්‍යවකාශයේ ඇති නොපෙනෙන චුම්බක මාර්ග ඔස්සේ ගමන් කරන බවයි. මෙය විශ්වයේ ඇති අතිශය බලගතු වස්තූන් ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් අංශු ත්වරණය කරන ආකාරය පිළිබඳ අපූර්ව සාක්ෂියක්.
මෙම පල්සාර් තාරකාව තත්පරයකට 16 වතාවක් පමණ වේගයෙන් භ්‍රමණය වන අතර, එය අභ්‍යවකාශය හරහා ගමන් කරන විට පිටුපසින් දිගු X-කිරණ වල්ගයක් ඉතිරි කරනවා. විද්‍යාඥයන් පුදුමයට පත් කරමින්, මෙම චුම්බක ක්ෂේත්රය ඔවුන් අපේක්ෂා කළාට වඩා ඉතා ක්‍රමවත් බවත්, එහි කැළඹිලි ස්වභාවය ඉතා අඩු බවත් සොයාගෙන තිබෙනවා. මෙම සොයාගැනීම මගින් අභ්‍යවකාශයේ අංශු ගමන් කරන ආකාරය සහ පල්සාර් තාරකාවල ක්‍රියාකාරීත්වය ගැන අපට අලුත් දැනුමක් ලැබෙනවා. මෙම පර්යේෂණ වාර්තාව පසුගිය ජූලි 9 වැනිදා ‘The Astrophysical Journal’ සඟරාවේ පළ වුණා. අභ්‍යවකාශයේ මෙවැනි අරුමපුදුම දේවල් තවමත් අපට නොදන්නා බොහෝ රහස් සඟවාගෙන සිටින බව නම් පැහැදිලියි.

Discussion & Feedback