ස්පාඤ්ඤයේ ඇලිකාන්ටේ පළාතේ පිහිටි විලේනා කෞතුකාගාරයට කඩා වැදුණු පිරිසක් ඉතාම කෙටි කාලයක් ඇතුළත එහි තිබූ වටිනාම රන් භාණ්ඩ එකතුවක් කොල්ලකාගෙන ගිහින් තියෙනවා. මේ සිදුවීම පසුගිය සිකුරාදා අලුයම සිදුවුණේ ඉතාම සැලසුම් සහගතවයි. මුලින්ම කෞතුකාගාරයට ආසන්න ක්‍රීඩා මධ්‍යස්ථානයක අනතුරු ඇඟවීමේ සීනුව නාද කර පොලිසිය නොමඟ යැවූ සොරුන්, ඉන්පසු විනාඩි හතරක් වැනි කෙටි කාලයක් ඇතුළත කෞතුකාගාරයට ඇතුළු වී එහි තිබූ රන් මුදු, බඳුන් සහ වළලු ඇතුළු වටිනා පුරාවස්තු රැසක් රැගෙන පලා ගොස් තියෙනවා. මේ කොල්ලය කොතරම් වේගවත් සහ වෘත්තීය මට්ටමෙන් සිදුවුණාද කියනවා නම්, පොලිසිය එන විටත් සොරුන් එතැනින් අතුරුදහන් වෙලා ඉවරයි.
මෙම රන් භාණ්ඩ එකතුව ක්‍රිස්තු පූර්ව 1000 වසරට පමණ අයත් වන අතර, එය විලේනා නගරයේ ජනතාවගේ ඉතිහාසය සහ උරුමය ලෙසයි සැලකෙන්නේ. 1963 වසරේදී සොයාගත් මෙම වටිනා නිධානය මෙලෙස අහිමි වීම ගැන විලේනා නගරාධිපතිවරයා ඇතුළු ප්‍රදේශවාසීන් දැඩි කම්පනයකට පත්වෙලා ඉන්නවා. ඔවුන් පවසන්නේ මෙය හුදෙක් රන් භාණ්ඩ පමණක් නොව, තම නගරයේ අනන්‍යතාවයම විනාශ කිරීමක් බවයි. පසුගිය කාලය පුරාම යුරෝපයේ විවිධ කෞතුකාගාර ඉලක්ක කරගෙන මෙවැනි කොල්ලකෑම් රැසක් සිදුවීම ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. මේ වන විට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණත්, සොරුන් අත්අඩංගුවට ගැනීමට තවමත් හැකිවෙලා නැහැ.

Discussion & Feedback