මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ බොලවලාන ප්රදේශයේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් මේ වන විට අලුත්ම තොරතුරු ටිකක් එළියට ඇවිත් තියෙනවා. අනතුරට ලක්වුණු කන්ටේනර් රථයේ හිමිකරු පවසන විදිහට, මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ යතුරුපැදි දෙකක් අධික වේගයෙන් රේස් එකක යෙදෙමින් සිටියදීයි. සීසීටීවී දර්ශනවලත් පැහැදිලිවම පේනවා කන්ටේනර් රථය හරවන්න කලින් සහායකයා මාර්ගය පරීක්ෂා කරලා වාහන නතර කරපු බව. ඒ වෙලාවේ කිසිම වාහනයක් පාරේ තිබිලා නැහැ. නමුත් එකපාරටම පැයට කිලෝමීටර් 160ත් 180ත් අතර වේගයකින් ආපු යතුරුපැදිය කන්ටේනරයේ ගැටිලා තියෙනවා. ගැටුමෙන් පස්සේ යතුරුපැදිය මීටර් 250ක් විතර දුරක් ඇදිලා ගිහින් තියෙනවා කියලයි ඔහු කියන්නේ.
මේ ප්රදේශයේ රාත්රී කාලයට නිතරම යතුරුපැදි රේස් පවත්වන බවත්, ඒ ගැන පොලිසියටත් කලින් දැනුම් දීලා තිබුණත් වැඩක් වෙලා නැති බවත් ඔහු චෝදනා කරනවා. අනතුරෙන් පස්සේ කන්ටේනර් රථය ගිනිබත් කරපු සිද්ධිය ගැනත් ඔහු අදහස් දක්වලා තියෙනවා. ඔහු කියන විදිහට ඒක කරලා තියෙන්නේ ප්රදේශවාසීන් නෙවෙයි, පිටින් ආපු පිරිසක්. පොලිසිය ඉදිරිපිටම මේ විනාශය සිද්ධ වුණත් එය වළක්වන්න බැරි වුණා කියලයි ඔහු වැඩිදුරටත් කියන්නේ. කොහොම වුණත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙන අතර පොලිසිය මේ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.

Discussion & Feedback